Latestදේශීය

සුගීෂ්වරගේ වැටුප ගෝඨාභයගේ ඥාති පුතකුගේ ගිණුමකට බැර වූයේ කෙසේද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස සුගීෂ්වර බණ්ඩාර යන සැකකරුට ජනපති කාර්යාලයෙන් ගෙවූ බව කියන වැටුප් මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරියකගේ පුතකුගේ ගිණුමට බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි මධ්‍යම විමර්ශන කාර්යාංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු දැක්වීය. ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන්ද ගිණුම හිමිකරුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බවද මධ්‍යම විමර්ශන කාර්යාංශය ඊයේ (23) අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවද මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් නිලධාරියා අධිකරණය හමුවේ පවසා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමහගේ ධුර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී සැකකරු සම්බන්ධයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.

සැකකාර සුගීෂ්වර බණ්ඩාර යන අයගේ ගිණුමට අවස්ථා හතරකදී රුපියල් ලක්ෂ 50ක මුදලක් බැර වී ඇතැයිද අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට අධික මුදලක් බැර වී ඇතැයිද මධ්‍යම විමර්ශන කාර්යාංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා ඇත.

මේ වනවිට විශේෂ ව්‍යාපෘති සාමාජිකයන් ගණනාවකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් තවත් ප්‍රකාශ 50කට අධික ප්‍රමාණයක් සටහන් කිරීමට ඇති බවත් විමර්ශන අවසන් නැති බවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා තිබේ.

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස වැටුප්වලට අදාළ මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරියකගේ පුතකුගේ ගිණුමට බව විමර්ශන අනාවරණය කළා. ඒ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ අනාවරණය කර තිබෙනවා.

එම මුදල් බැර කළ ගිණුම හිමිකරුගේ ප්‍රකාශ දෙකක් ලබා ගත්තා. එක් ප්‍රකාශයක මුදල්වලින් භාගයක් ලැබුණු බවත් අනෙක් ප්‍රකාශයේ කිසිදු මුදලක් නොලද බවත් කියා තිබෙනවා. ඊට අදාළ වැඩිදුර විමර්ශන කරනවා” යැයි මධ්‍යම විමර්ශන කාර්යාංශයේ විමර්ශකයින් වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා ඇත.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ,

“ස්වාමීනි, මොහු ගොනුකර තිබූ ඇප අයැදුම්පත ඉහළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස මොහු වැටුප් ලබාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එම මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අක්කාගේ පුතකුට බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලබා ගත් ප්‍රකාශ අනාවරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන කළා. පළමු ප්‍රකාශයේදී මුදල් කොටසක් ලැබූ බවට ඔහු ප්‍රකාශ කළත් දෙවැනි ප්‍රකාශයේදී මුදල් කිසිවක් ලැබුණේ නැති බවට ප්‍රකාශ ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජනාධිපතිවරයකුට ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.”

එහිදී මහේස්ත්‍රාත් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවය.

“ස්වාමීනි ගෝඨාභය රාජපක්ෂ මහතා මොහුට ගෙවීමක් නොකළ බවට ප්‍රකාශ කළ ද විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස මොහු යටතේ 135ක් පමණ සේවය කර තිබෙනවා. අධ්‍යක්ෂවරුන් විසි දෙකක් එහි සේවය කර තිබෙන අතර එම ව්‍යාපෘතිය යටතේ කර ඇත්තේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීම පමණක් බවට විමර්ශන අනාවරණය කර තිබෙනවා. එම කටයුතු කරමින් ඔහු මුදල් රුපියල් කෝටි 22ක අධික මුදලක් ලබාගෙන තිබෙනවා.”

සැකකරු වෙනුවෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කර ඇත්තේ සැකකරු වැටුප් දෙකක් ලබාගෙන නැති බවය.

“මෙම විමර්ශනය ආරම්භ කළේම වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට චෝදනා ගොනු කරමින්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා ඔහු වැටුප් දෙකක් ලබා නොගත් බවට. ඔහුගේ ගිණුමට එම මුදල් ලැබී නැති බවටත් විමර්ශනය කර තිබෙනවා” යැයි අධිකරණය හමුවේ නීතිඥයා දන්වා සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ බන්ධනාගාරය විසින් සැකකාර සුගීෂ්වර බණ්ඩාර විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *