Latestදේශීය

වහලය මත සවිකරන Solar පද්ධති වලට අවස්ථාව වැඩිකරනවා – අනුර කරුණාතිලක

වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කිරීම රජයේ ජාතික ප්‍රතිපත්තියක් බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සම්බන්ධයෙන් පැතිර යන වාර්තා පිළිබඳව ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2024 සිට 2026 දක්වා ජනන දත්ත අනුව රට පුරා සූර්ය බලශක්ති උත්පාදනය වර්ධනය කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත්, පසුගිය වසර දෙක තුළ පමණක් වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති මගින් මෙගාවොට් 1,513ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

2025 සහ 2026 වසරවලදී ජාතික පද්ධතියට එක් කළ බලශක්ති ධාරිතාවෙන් මෙගාවොට් 1,141.1ක් වහල මත සවි කළ සූර්ය බලශක්ති පද්ධති මගින්ද, තවත් මෙගාවොට් 534ක් භූමිය මත ස්ථාපිත සූර්ය බලශක්ති ව්‍යාපෘති මගින්ද ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

තවද, 2029 වසර වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 4,585.7කින් ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම, 2027 වසර සඳහා මෙගාවොට් 1,392ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් මෙගාවොට් 500ක් වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති මගින්ද, මෙගාවොට් 642ක් භූමිය මත ස්ථාපිත සූර්ය බලශක්ති ව්‍යාපෘති මගින්ද ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා, ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගමේ සභාපති ආචාර්ය බී. එල්. පී. ප්‍රදීප් පෙරේරා මහතා, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු එම්. බී. එස්. සමරසේකර මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී. එම්. විජේන්ද්‍ර ජේ. බණ්ඩාර මහතා, විදුලි බෙදාහැරීම ලංකා පුද්ගලික සමාගමේ සභාපති ආර්. ආර්. ජයරත්න මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *