යෝෂිත, ඩේසි නඩුව නොවැ. 03ට කල්යයි
වසර 4ක කාලයක් තුළදී උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් ලක්ෂ 596කට ආසන්න වත්කම්වල හිමිකාරීත්වය දැරීම ඇතුළු මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව පවරා ඇති නඩුවේ සංශෝධිත අධිචෝදනා පත්‍රය ලබන නොවැම්බර් 3 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (28) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ඇපමත මුදාහැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ පමණක් අධිකරණයේ පෙනී සිටියේය. 2 වැනි චුදිත වන ඩේසි ෆොරස්ට් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනිල් ද සිල්වා මහතා සිය සේවාදායිකාව අසනීපව සිටින බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක් වූයේය. එහිදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් විත්තිකරුවන්ට සමාන චෝදනා යටතේ වෙනත් අධිකරණයක ද නඩුවක් පවතින බව කියා සිටියේය. එහිදී දෙවැනි විත්තිකාරිය නඩුවකට මුහුණදීමට ප්‍රමාණවත් මානසික මට්ටමක නොසිටින බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තීරණය කර තිබීම නිසා ඇය මුදාහැර, පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂට පමණක් එරෙහිව නඩුව පවත්වාගෙන යන බව රජයේ අධිනීතිඥවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
එම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට එරෙහිව විත්ති පාර්ශ්වය අභියාචනයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී එය නියමිත ආකාරයට සිදුව ඇති බවට අභියාචනාධිකරණය නියෝග කර ඇති බව පැවසීය. එම නියෝගයට එරෙහිව විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර පසුව ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව මෙම නඩුවේද අධිචෝදනා පත්‍රය සංශෝධනය කර පළමු චුදිත සම්බන්ධයෙන් පමණක් නඩුව පවත්වාගෙන යෑමට අදහස් කරන බව පැමිණිල්ල කියා සිටියේය. ඒ සඳහා නඩුව නොවැම්බර් 3 වැනිදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එදිනට අධිකරණයේ අනිවාර්යයෙන්ම පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට නියෝග කළේය. 2009 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා අතර කාලය තුළ කොළඹදී සහ තංගල්ලේ දී රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑනවදහස් නවසීයක (59,679,900) මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීමේ චෝදනාව මත විත්තිකරුවන්ට එරෙහිව මෙසේ නඩු පවරා ඇත. නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් බව දැන දැනම හෝ එසේ දැනගැනීමට හේතු සහිතව, එම මුදල් ඍජුවම හෝ වක්‍රව බැංකු ගිණුම්වල සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබේ.
විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

