වයස අවුරුදු 105ක නාසි අළුගෝසුවෙක් ජර්මනියේ අත්අඩංගුවට
ලොව සුප්‍රකට “THE GREAT ESCAPE”ඇමරිකානු චිත්‍ර පටියට පවා පාදක වූ ජර්මනියේ නාසි Stalag සිර කඳවුරක සිදු කරන ලද යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ වයස අවුරුදු 105 ක නාසි සොල්දාදුවෙක් ජර්මන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. දෙවන ලෝක යුද්ධය අවසාන වී වසර 80 කට වැඩි කාලයකට පසුත් මානව වාදයට එරෙහිව සිදුකරන ලද යුධ අපරාධ කරුවන් පසුපස එළවීම තවමත් අවසන් වී නොමැත. ඒ අනුව ජර්මානු බලධාරීන් සෙනේ හි ස්ටැලග් 326-VI K හි හිටපු ආරක්ෂකයා පසු පස යමින් විශාල කාලයක් පුරා විමර්ශනය කරමින් සිට අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
මෙම නාසි සොල්දාදුවා 180000ක සෝවියට් සිරකරුවන් රදවා සිටි මෙම කඳවුරේ ඝාතනවලට ඍජුවම සම්බන්ධ බවට සැක කෙරේ. දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි යුද සිරකරුවන්ගේ කඳවුරක සිදු කරන ලද බහුවිධ මිනීමැරුම්වලට මොහු සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ජර්මානු අධිකරණය ඒකරාශී කරමින් සිටීන බව වාර්තා වේ. සැකකරු රටේ වයඹ දෙසින් පිහිටි සෙනේ හි ස්ටාලග් 326 VI K හි කඳවුරු ආරක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇති බවට විශ්වාස කෙරේ.
බොහෝ සිරකරුවන් ඝාතනය කිරීමට “දායක වීම” සහ “දිරිගැන් වීම” මත ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, එම ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුගේ මරණයට පෙර යුක්තිය ඉදිරියට ගෙන ඒමට අධිකරණය සමත් වූ බවට මාධ්‍ය වාර්තා කර සිටි. සියවස් සපිරුණු පුද්ගලයා “තරමක් හොඳ සෞඛ්‍ය තත්වයකින්” පසුවන බවත්, නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු තත්වයේ පවතින බවටද ජර්මානු අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටි.
දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූ දා සිට මෙම අධිකරණ ක්‍රියා මාර්ග මගින් නාසි යුගයේ අපරාධ විමර්ශනය කිරීම දිගටම සිදු කරමින් තිබෙන අතර ඉතිරි සැකකරුවන්ගෙන් බොහෝ දෙනෙක් මේ වන විට මිය ගොස් හෝ රටින් පැන ගොස් ලොව වෙනත් රටවල ජීවත්වෙන බවට ද හෝ සමහරු අප්රකටව ද ජිවත් වන බවට තොරතුරු ඇත.
මෙම ජර්මානු Stalag කඳවුරේ දෙවන හිටපු ආරක්ෂකයෙකු සම්බන්ධයෙන් ද එවැනිම නඩුවක් ක්‍රියාත්මක වෙමින් පැවති බව ඩොර්ට්මන්ඩ් නීතිපති සොන්ජා ෆ්රොඩර්මන් පැවසීය. කෙසේ වෙතත්, ඔහු මාස කිහිපයකට පෙර වයස අවුරුදු 99 දී මිය ගියේය. මෙම අවස්ථාවෙහිදී, මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ වැඩිදුර තොරතුරු ආරක්ෂක හේතුමත මාධ්‍ය වෙත ලබා දී නොමැත.
මෙම කඳවුරේ සිටි සෝවියට් සිරකරුවන් 180,000 කට වැඩි පිරිසක් අතිශය අමානුෂික ලෙස රඳවා සිටි බවට ද වාර්තා වේ.
දෙවන ලෝක යුද්ධ සමයේදී සෝවියට් රතු හමුදා සොල්දාදුවන් මිලියන 5.3 කට වැඩි පිරිසක් ජර්මානුවන් විසින් වහල්භාවයේ තබා ගන්නා ලදී. Stalag සිර කඳවුරේ වාර්තා වලට අනුව, 1941 සිට 1945 දක්වා කාලය තුළ නාසි ජර්මනියට ඇතුළු කල සෑම සෝවියට් යුද සිරකරුවන් තිදෙනෙකුගෙන්ම එක් අයෙකු මෙම කඳවුර හරහා ගමන් කළ බවට සාක්ෂි ඇති බව හෙළි වී ඇත.
ඔවුන්ට මෙම සිර කඳවුරු වලදී වදහිංසා වලට ලක් වීමට, අධික වෙහෙස කාරී වැඩ පල වල නිරත වීමට ද බල කෙරුනි. ඔවුන්ට අතිශයින් දුෂ්කර කොන්දේසි යටතේ එහි තිබු කර්මාන්ත ශාලාවේ සහ අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීම සඳහා ද තම සේවය ලබා දීමට සිදු වී ඇත. ඔවුන් අධීක්ෂණය කළ නාසි සොල්දාදුවන් විසින් සිර කරුවන් සිර කඳවුර තුලම වෙඩි තබා මරා දැමීම ද සිදු කර තිබිණි. බොහෝ දෙනෙක් අධික වෙහෙස, කුසගින්න, සීතල, ප්රචණ්ඩත්වය, වද හිංසා හේතුවෙන් ද එම ස්ථානයේදීම මිය ගියහ.
Stalag කඳවුරේ හි ලියාපදිංචි කර ඇති සෝවියට් යුද සිරකරුවන් 180,000 සිට 200,000 දක්වා සංඛ්‍යාවෙන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇති අතර දස දහස් ගණනක් කඳවුර තුලම ඒ අනුව මරා දමා, වල දමා තිබියදී පසුව හමු වී ඇත. ප්‍රංශ, පෝලන්ත, සර්බියානු, ඇමරිකානු සහ බෙල්ජියම් සිරකරුවන් ද මෙහි රඳවා තිබී ඇති අතර 1941 සිට 1945 අප්‍රේල් දක්වා කාලය තුළ දී ඇමරිකානු හමුදා විසින් මෙම සිර කඳවුර නාසීන් ගෙන් නිදහස් කර ගන්නා ලදී.
ජර්මනියේ, 1979 සිට මිනීමැරුම් හෝ මිනීමැරුම්වලට සම්බන්ධ වීම සඳහා කාල සීමාවන් හෝ කාල රෝදයන් පිළිබඳ නීතියක් නොමැති අතර, විශේෂයෙන් නාසි යුගයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට ඕනෑම කාලයකදී ඉඩ සලසා ඇත.
කෙසේ වෙතත්, යුද්ධයෙන් වසර 80 කට වැඩි කාලයකට පසු මෙම අපරාධවල වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම අද අතිශයින් දුෂ්කර ය. මිනීමරුවන් හා සාක්ෂිකරුවන් විශාල පිරිසක් මේ වන විට මිය ගොස් ඇත. මීට වසර හතරකට පෙර, Sachsenhausen හි යුධ අපරාධ වලට හවුල් වීම සම්බන්ධයෙන් වයස අවුරුදු 101 ක් වූ එම කඳවුරේ මුරකරුවෙකු වූ Josef Schütz හට වසර පහක සිර දඬුවමක් නියම කරන ලදී. ඒ වන විට, ඔහු නඩු විභාගයට ගෙන එන ලද වයස්ගතම නාසි අපරාධකරු විය. කෙසේ වෙතත්, ඔහුට කිසි විටෙකත් අධිකරණය විසින් සිර දඬුවමක් නියම නොකළ අතර 2023 දී ඔහුගේ වරදට අභියාචනයක් ඉදිරිපත් කරමින් සිටිය දී මිය ගියේය.
“නාසි මිනී මැරුම් යන්ත්‍රය” සමග එක්ව චෝදනා ලැබූවන්ට ඔවුන්ගේ මරණයට පෙර නඩු පැවරීමට අධිකරණය විසින් දියත් කරන ලද හදිසි ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මෙම විමර්ශනය වේගවත් කිරීමට ජර්මානු අධිකරණය උත්සුක වී ඇත.
දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක අටක් පුරා, අනෙකුත් පහළ මට්ටමේ සේවකයින් මෙන් බොහෝ සිර කඳවුරු ආරක්ෂකයින්, යුද සිරකරුවන් ඝාතනය කිරීමේදී සුළු භූමිකාවන් ඉටු කළ බවට නිදහසට කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය මගින් නඩු පැවරීමෙන් ආරක්ෂා වීමට සමත් විණි. නමුත් සුප්‍රකට Sobibor සමූලඝාතන කඳවුරේ හිටපු ආරක්ෂකයෙකු වූ John Demjanjuk, නඩුව, විභාග කරද්දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ දෘෂ්ටිවාදාත්මක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම සිර කඳවුරු ආරක්ෂකයින් ඍජුවම ජන සංහාර හා මිනි මැරුම් වලට සම්බන්ධ වූ බව පිළිගැනීමට ජර්මන් රජයට අවසානයේ සිදු විනි.
ඒ අනුව 2011 දී, හිට්ලර් ගේ නාසි රජය 1945 බිඳ වැටීමෙන් පසු ජර්මනියේ වාසය කර පසුව එක්සත් ජනපදයේ ජීවත් වීමට පිටත්ව ගිය John Demjanjuk අපකීර්තිමත් sobibor නාසි කඳවුරේ සිර කරුවන් කිසිවෙකු පෞද්ගලිකව මරා දැමූ බවට කිසිදු සාක්ෂියක් නොමැති වුවද, එම කඳවුරේ ඔහුගේ සේවා කාලය තුළ යුදෙව්වන් 28,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීමට දායක වීම සම්බන්ධයෙන් වැරදිකරු බවට පත් විණි. ඔහු 2011 දී වයස අවුරුදු 99 දී ඔහුගේ අභියාචනය බලාපොරොත්තුවෙන් සිටියදී මිය ගියේය. එබැවින් ඔහු ද කිසි විටෙකත් සිරගත නොවීය.
මේ ආකාරයෙන්ම Irmgard Furchner නඩු විභාගය ද ජර්මනිය තුළ ද මහත් කැළඹීමක් ඇති කළේය. Stutthof නාසි කඳවුරේ අණදෙන නිලධාරියාගේ හිටපු ලේකම්වරයා වූ මෙම කාන්තාවට 2022 දී පළමු අවස්ථාවේ දී වසර දෙකක සිර දඬුවමක් නියම කරන ලද අතර, එය 11,000 කට වැඩි පිරිසකගේ ඝාතනවලට සම්බන්ධ වීම හේතුවෙන් අත්හිටවූ සිර දඬුවමක් නියම වූවාය. 2024 අගෝස්තු මාසයේදී අභියාචනයක් මගින් ද මෙම දඬුවම තහවුරු කරන ලද අතර, 2025 ජනවාරි මාසයේදී ඇය වයස අවුරුදු 99 දී මිය ගියාය.
කෙසේ වෙතත් යුධ අපරාධ, මානවාදයට එරෙහි අපරාධ, ජන සංහාර වලට සම්බන්ධ වූ පුද්ගලයින් හට එම අපරාධ වලින් බේරී නීතියේ කඩ තුරාවෙන් මිදීම ආරක්ෂා වීමට ඉඩ නොදෙන බවට දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 80 කට පසුත් සිදුවන මෙම අධිකරණ ක්‍රියා දාමයන් මගින් තව දුරටත් තහවුරු වන බව ජාත්‍යන්තර අපරාධ නීති විශේෂඥයයින් මේ අතර පෙන්වා දේ.

@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

