දූෂණ විරෝධී පනත ජනතා අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් – හරිනි අමරසූරිය
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත්තේ එහි අරමුණු දියාරු කිරීමට නොව, පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් ප්‍රායෝගික, ආයතනික සහ මානව සම්පත් ගැටලු විසඳමින් දූෂණ විරෝධී ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
1994 වසරේ සිට දූෂණ විරෝධී නීති සහ ඒ සඳහා වූ ආයතන පිළිබඳ සාකච්ඡා පැවතියද, එම ආයතන නාමිකව පමණක් පැවති බවත්, ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත්, මූල්‍ය ප්‍රතිපාදන, සම්පත් සහ යටිතල පහසුකම් සපයා නොතිබූ බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
2023 වසරේදී නව දූෂණ විරෝධී පනත හඳුන්වා දුන්නද, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හඳුනාගැනීමට හැකි වූයේ 2025 වසරේ සිට එය සක්‍රීයව ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසුව බව ද ඇය සඳහන් කළාය.
ඒ අනුව, අවශ්‍ය මානව සම්පත් බඳවා ගැනීම, පනතේ සිංහල හා ඉංග්‍රීසි භාෂා අතර පවතින අසංගතතා නිවැරදි කිරීම සහ පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා වත්මන් සංශෝධන ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
දූෂණ විරෝධී පනත යටතේ වත්කම් හා වගකීම් හෙළිදරව් කිරීමේදී රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍යය සමඟ සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව ද සාකච්ඡා පැවති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, මහජන නියෝජිතයන් එම වගකීම්වලින් ඉවත් කිරීමක් මීට පෙර හෝ වත්මන් සංශෝධන මඟින් සිදුකර නොමැති බව අවධාරණය කළාය.
“දූෂණ විරෝධී සංස්කෘතියක් රට තුළ ඇතිවීමත්, එය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් විපක්ෂය තුළ පවතින කලබලය සහ අසහනය මෙම ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ජනතා අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ජනතා මුදල් අයථා ලෙස පරිහරණය කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම පමණක් නොව, එම මුදල් නැවත රජයට අයකර ගැනීම බව සිහිපත් කළ ඇය, එම අරමුණ ද වත්මන් සංශෝධන මඟින් ශක්තිමත් කිරීමට අවධානය යොමුකර ඇති බව සඳහන් කළාය.
දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලියට අමතරව, රාජ්‍යයට සිදුවූ අලාභය පියවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද ශක්තිමත් කිරීම ද මෙම සංශෝධනවල අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
“මෙය දූෂණ විරෝධී ක්‍රියාවලිය දියාරු කිරීමක් නොව, එය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික, ආයතනික සහ මානව සම්පත් ගැටලු නිරාකරණය කිරීමේ උත්සාහයක්. දූෂණයට එරෙහි සටන අතහැර අපට දිනාගත හැකි කිසිවක් නැහැ. එසේ අත්හරිනවා නම් එය අපේ පරාජයක්” යැයි ද ඇය අවධාරණය කළාය.
දූෂණයට එරෙහිව විශාල ජනතා අරගලයක් පැවති රටක, විපක්ෂය අසත්‍ය තර්ක ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කිරීම කනගාටුදායක බවත්, එවැනි ක්‍රියාමාර්ගවලින් විපක්ෂය නැවතත් පැරණි දූෂිත දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව පෙනී යන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

