Latestදේශීය

කොළඹ වරායේ ඩිජිටල් වෙනසකට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක්

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී තිබේ.

මෙම ප්‍රදානය ලබාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා ඊයේ (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

තානාපතිවරයා පළමුව කොළඹ වරාය නියමු නාවික මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, එහිදී වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා විසින් ඔහු පිළිගන්නා ලදී.

අදහස් දැක්වූ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ අමෙරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම මඟින් භාණ්ඩ මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් හැකි වන බවය.

එමඟින් දෙරටේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමට ද දායකත්වයක් ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම වරාය නිරීක්ෂණය කිරීම තුළින් ගෝලීය වෙළෙඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරගැනීමට හැකි වූ බව ද තානාපතිවරයා සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *