Latestදේශීය

ශිරාන් බාසික් නීති විරෝධී අවිආයුධ ජාවාරම් කරලා

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරට විමර්ශකයන් විස්න් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වලද නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බවසඳහන් කර ඇත්කේ ශිරාන් බාසික් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම මහේන් ගොපල්ලව සහ ඒ. ප්‍රේම්ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය දා (19) සලකා බැලූ අවස්ථාවේදීය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර ඇත.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයකට අනුව බව පොලිස් සටහන්වල සඳහන් වුව ද, සිය සේවාදායකයාට එරෙහිව තිබූ අදාළ මත්ද්‍රව්‍ය නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇති බැවින් එම රතු නිවේදනය මේ වනවිට ඉවත් කරගෙන ඇති බව නීතිඥවරයා සඳහන් කර ඇත.

දැනට ඔහුට එරෙහිව පවතින්නේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල සහ කොකේන් ජාවාරම සම්බන්ධ නඩු දෙකක් පමණක් වන බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබා ගැනීමට කිසිදු නීතිමය පදනමක් හෝ සාක්ෂියක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණයට අනාවරණය කර ඇත්තේ, මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවත්, අන්තවාදී සංවිධාන සමඟ මොහු සම්බන්ධ වී කටයුතු කර ඇද්ද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බැවින්, ඉදිරිපත් වූ සාධාරණ කරුණු මත පදනම්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රඳවා තබාගැනීම සිදුකර ඇති බවත්ය.

මෙම නඩු විභාගය අතරතුරදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, සැකකරුට නිවසින් එළවළු ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, නීතිඥවරුන් හමුවීම සඳහා දැනට ලබාදී ඇති කාලයට වඩා වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති අතර, සැකකරු සහ නීතිඥවරුන් අතර සිදුවන කතාබහ පොලිසිය විසින් පටිගත කිරීමක් සිදුකරන බවත් පවසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සදහන් කර ඇත්තේ, නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම ගැටලුකාරී බවත්, සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එවැනි සීමා පැනවීමට පොලිසිය ක්‍රියාකර තිබෙන බවත්ය.

මෙම ඉල්ලීම් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඉදිරි දිනයකදී අධිකරණයට කරුණු දක්වන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කර ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *