පහත හේවාහැට ප්රාදේශීය සභාව අත්හිටුවයි
සමගි ජන බලවේගයට බලය හිමි පාතහේවාහැට ප්රාදේශීය සභාව අත්හිටුවා එහි බලතල ක්රියාත්මක කිරීම මහනුවර දිස්ත්රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරිය යටතට පත් කිරීමට මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය සුරංග ප්රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පෙරේදා (19) නිකුත් කර තිබෙන අතර, එමඟින් සභාවේ සහ සභාපතිවරයාගේ බලතල ක්රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටු කිරීම මහනුවර දිස්ත්රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජී.එල්. අත්තනායක මහත්මිය යටතට පවරා ඇත. සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට බලය හිමිව තිබූ පාතහේවාහැට ප්රාදේශීය සභාව මඟින් පසුගිය කාලය තුළ ප්රදේශයේ ජනතාවට ප්රතිලාභ අත්වන කිසිදු ව්යාපෘතියක් සාර්ථකව ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය සුරංග ප්රනාන්දු මහතා විසින් විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත් කරනු ලැබීය. එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා නිකුත් විය. සභාව අත්හිටුවා සහකාර කොමසාරිස් පාලනය යටතට පත් කිරීම ආණ්ඩුකාරවරයා සිදුකර ඇත්තේ 1987 අංක 15 දරන ප්රාදේශීය සභා පනත අනුව තමන්ට ලැබී තිබෙන බලතල ප්රකාරවය.
පසුගිය පළාත් පාලන ඡන්දයේදී පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභික ධුර 43න් ඒකාබද්ධ විපක්ෂයට සභික ධුර 25ක් ද, ජාතික ජන බලවේගයට සභික ධුර 18ක් ද ලැබී තිබිණි.
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් එකතුවී සභාවේ බලය පිහිටුවනු ලැබූ අතර සභාපති ධුරයට පත්වූයේ සමගි ජන බලවේගයේ ක්රිෂාන්ත රාජනායක මහතාය. අල්ලස් චෝදනාවකට ලක්ව සිටි ඔහු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු විය. වැඩ බැලීම සඳහා උප සභාපතිවරයා තාවකාලිකව පත් කරනු ලැබීය.
සභාව සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීම සඳහා මධ්යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය අවස්ථා තුනකදී සභාව කැඳවූ නමුත්, ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් අවස්ථා තුනේදීම සභාපතිවරයකු තෝරා ගැනීමට නොහැකි විය.
කොමසාරිස්වරිය පනවන නියෝග හා උපදෙස් නොපිළිපැදීම, අකීකරු වීම හා නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ආණ්ඩුකාරවරයාට කරුණු වාර්තා කර තිබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

