2027 සිට ඊශ්රායෙල් රැකියා රජයන් යටතේ ගිවිසුම් හරහා පමණයි
ලබන වසරේ සිට ශ්රී ලාංකිකයන් ඊශ්රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ඊශ්රායල රජය ගෙන ඇති නව ප්රතිපත්තිමය තීරණය පිළිබඳව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී ඇත.
ඒ අනුව, බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතායතන හරහා දැනට ක්රියාත්මක ඊශ්රායල රැකියා බඳවා ගැනීමේ වැඩසටහන 2026 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බව කාර්යාංශය සඳහන් කරයි.
ඉදිකිරීම්, කාර්මික, වාණිජ හා සේවා ඇතුළු සියලු ක්ෂේත්රවල රැකියා සඳහා මෙම නව තීරණය අදාළ වේ.
කෙසේ වෙතත්, 2027 වසරේ සිට ක්රියාත්මක කිරීමට නියමිත නව බඳවා ගැනීමේ ක්රමවේදය, බඳවා ගන්නා ශ්රමිකයන්ගේ සංඛ්යාව සහ තෝරා ගැනීමේ ක්රියාපටිපාටිය පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත.
මේ අතර, ඊශ්රායල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් හෝ විදේශ රැකියා නියෝජිතායතන වෙත මුදල් ගෙවීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ට දැනුම් දෙයි.
කාර්යාංශය නිල වශයෙන් දැනුම් දෙන තුරු පෞද්ගලික අංශය විසින් පවත්වනු ලබන කුසලතා පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ සහ වෙනත් තෝරා ගැනීමේ ක්රියාවලීන් සඳහා සහභාගී නොවන ලෙස ද කාර්යාංශය උපදෙස් දී තිබේ.
දැනටමත් ඊශ්රායල රැකියා සඳහා නීත්යානුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් අනවශ්ය බියක් ඇති කරගත යුතු නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ උපදෙස් ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
එමෙන්ම, ඊශ්රායල රැකියා අපේක්ෂකයන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම සඳහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ ඊශ්රායල බලධාරීන් සමඟ එක්ව අවශ්ය කටයුතු සිදු කරමින් සිටී.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

