Latestවිදේශීය

බ්‍රසීල හිටපු ජනාධිපති අමෙරිකාවට පනී

බ්‍රසීල ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත්වූ ෆ්ලේවියෝ බොල්සො­නාරෝ රහ­සේම අමෙ­රි­කා­වට පලා­ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු රටින් පිටවී ඇත්තේ එරට ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් ඩොලර් මිලි­යන 900කට අධික මුදල් විශු­ද්ධි­ක­රණ චෝද­නා­වක් සම්බ­න්ධව සිදු කරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව පැය 24ක් ඇතු­ළත සිය ගුව­න් ග­මන් බල­ප­ත්‍රය පොලී­සි­යට භාර දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියෝග කිරී­මෙන් දින­කට පසුව බව වාර්තා වේ.

නියෝ­ග­යට අව­නත නොවීම හේතු­වෙන් ඔහුගේ ගුව­න් ග­මන් බල­ප­ත්‍රය අහෝසි කළ බව පොලී­සිය ප්‍රකාශ කර ඇති අතර, ඒ වන විටත් ඔහු රටින් පිටවී සිටි බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. බොල්සො­නාරෝ බ්‍රසී­ල­යෙන් පිට­වන්නේ නම් ඔහුට වීසා නිකුත් කිරී­මට සූදා­නම් බව පෙරේදා අමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කර තිබූ අතර, ඊයේ නිවේ­ද­නය කර ඇත්තේ ඔහුට සහ පවුලේ සාමා­ජි­ක­යන්ට වීසා නිකුත් කළ බවය.

බොල්සො­නාරෝ, බිරිය හා දිය­ණි­යන් දෙදෙනා නිසි ගමන් බල­පත්‍ර සහ ලේඛන සහි­තව පෙරේදා රාත්‍රියේ දේශ­සීමා මාර්ග­යක් ඔස්සේ අජෙ­න්ටි­නා­වට ඇතුළු වූ බව එරට ආග­මන හා විග­මන දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කර තිබේ. ඔවුන් අන­තු­රුව පෞද්ග­ලික ජෙට් යාන­ය­කින් ඉක්ව­දෝ­රය බලා ගොස් ඇතැයි ද ආජෙ­න්ටි­නාවේ බල­ධා­රීන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳ­හන් කර ඇත්තේ බොල්සො­නාරෝ සහ පවුලේ සාමා­ජි­ක­යන් ඉක්ව­දෝ­රයේ සිට ගුවන් මඟින් අමෙ­රි­කා­වට සේන්දු වී ඇති බවය. බොල්සො­නාරෝ බ්‍රසී­ලයේ සිට අමෙ­රි­කා­වට පැමිණි ගමන් මාර්ගය පිළි­බඳ මෙතෙක් නිවැ­රදි තොර­තුරු අනා­ව­ර­ණය නොවූ­වද, ඔහු ෆ්ලොරීඩා නුව­රදී සිය බාල සොහො­යුරු එඩු­වාර්ඩෝ මුණ ගැසී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

චෝද­නා­ව­ලින් නිද­හ­ස්වී­මට රට තුළ රැඳී සිටීම වෙනු­වට හොර රහ­සේම රටින් පලා­යෑම ලජ්ජා­ස­හ­ගත ක්‍රියා­වක් බව බොල්සො­නා­රෝගේ පලා­යෑම දැඩි ලෙස විවේ­ච­න­යට ලක් කර­මින් ජනා­ධි­පති ලුලා ද සිල්වා සඳ­හන් කර ඇති අතර, අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ පැමි­ණීම පිළි­ගන්නා බවය. කෙසේ වෙතත් මේ වන විට එම සිදු­වීම අමෙ­රි­කාවේ දැඩි ආන්දෝ­ල­න­ය­කට ලක්වී තිබේ.

එරට ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නියෝ­ජිත ජෝකින් කැස්ත්‍රෝ සඳ­හන් කර ඇත්තේ මැති­ව­ර­ණ­යෙන් පරා­ජය වීම අමෙ­රි­කා­වෙන් දේශ­පා­ලන සර­ණා­ග­ත­භා­වය ලැබී­මට හේතු­වක් නොවන බවය. බ්‍රසීල නීති­යට පට­හැ­ණිව ක්‍රියා කිරීම හේතු­වෙන් අධි­ක­ර­ණය හමුවේ චෝදනා ලබා සිටින පුද්ග­ල­ය­කුට රැක­ව­ර­ණය දීම සම්බ­න්ධව ට්‍රම්ප් පරි­පා­ල­නය කොංග්‍රස් මණ්ඩ­ලය හමුවේ කරුණු දැක්විය යුතු බව ද ඔහු අව­ධා­ර­ණය කර තිබේ.

2022 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ලුලා ද සිල්වාගේ ජය­ග්‍ර­හ­ණය වෙනස් කිරී­මට කුම­න්ත්‍ර­ණය කිරීමේ චෝද­නා­වට මේ වන විට නිවාස අඩ­ස්සියේ පසු­වන හිටපු ජනා­ධි­පති ජේවි­යර් බොල්සො­නා­රෝගේ වැඩි­ම­හල් පුත්‍රයා වන දක්ෂි­ණාං­ශික අපේ­ක්ෂක 45 හැවි­රිදි ෆ්ලේවියෝ මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලූලා හමුවේ පරා­ජ­යට පත්වූයේ වැඩි ඡන්ද ලක්ෂ 44කිනි. මුදල් විශු­ද්ධි­ක­රණ චෝද­නා­වට අම­ත­රව බදු වංචා කිරීම්, විවිධ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් නීතිවිරෝධි ලෙස අර­මු­දල් එක්රැස් කිරීම්, රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් චොක­ලට් ව්‍යාපාර සහ නිවාස හා ඉඩම් මිලදී ගැනීමේ ව්‍යාපාර සම්බ­න්ධ­යෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *