TIN අංකයක් තිබූ පමණින් සියලු දෙනා බදු ගෙවිය යුතු නැහැ
වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩපිළිවෙළ මෙරට ආර්ථික ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් මීට පෙර සිටම ආරම්භ කර තිබූ වැඩපිළිවෙළක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එමෙන්ම TIN අංකයක් ලබාගෙන ඇති සියලු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බවක් ඉන් අදහස් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
වයස අවුරුදු 18ට වැඩි මෙරට ජනගහනය මිලියන 13ක් පමණ වන අතර, එම පිරිස සඳහා TIN අංක ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් මේ වන විට මිලියන 1.2ක පමණ පිරිසක් සඳහා ආදායම් බදු ගොනු විවෘත කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
2026 නොවැම්බර් 01 වැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, නව බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ වාහන ලියාපදිංචි කිරීමේදී TIN අංකය සම්බන්ධයෙන් ඇතැම් ගැටලු මතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම ගැටලු නිරාකරණය කිරීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඔහු පැවසීය.
විශේෂයෙන්ම නව බැංකු ගිණුමක් විවෘත කිරීමේදී TIN අංකයක් නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත සහ මූලික තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස බැංකු පද්ධතියට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් අදාළ කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සලසා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එබැවින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගනිමින් ක්‍රමානුකූලව TIN අංකය ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සහාය වන ලෙසත් මේ පිළිබඳව සමාජය තුළ පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පුරවැසියන් ලෙස තමන්ට අදාළ බදු වගකීම් නිසි පරිදි ඉටු කරමින් බදු ගොනුවක් විවෘත කර නීත්‍යනුකූලව බදු ගෙවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

