මනම්පේරිට එරෙහි තීන්දුව 13දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරිට එරෙහිව පවරා ඇති ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ නඩුවේ තීන්දුව ලබන 13 වැනිදා ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය දා (03) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරු බූස්ස බන්ධනාගාරය විසින් ඉදිරිපත් කරන ලදි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සම්පත් මනම්පේරි නමැත්තා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයකු ලෙස සේවය කර ඇත. ඔහුගේ මෙහෙයවීම යටතේ එවකට අගමැති ආරක්ෂක අංශයේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් ඉන්දික දළදාවත්ත ඇතුළු හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම කොල්ලකෑම සිදු කර ඇත.
විත්තිකරුවන් 2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා නාරාහේන්පිට මංසන්ධිය ආසන්නයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට නැඟෙනහිර පළාතේ සිට කොළඹට සහල් ගෙනආ සෙල්වදොරෙයි කෝලවෙන්නාදන් නමැති ද්‍රවිඩ ව්‍යාපාරිකයා බියගන්වා සහල් ලොරියක් හා ඔහු සන්තකයේ තිබුණු මුදල් හා ජංගම දුරකතනය කොල්ලකා තිබේ.
නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 14 වැනි වගන්තිය යටතේ අධිචෝදනා 7ක් යටතේ නඩු පවරා ඇත. විත්තිකරුවන් කොල්ලකා ඇති සහල් ලොරියේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වේ.
විත්තිකරුවන් කොල්ලකෑමේ පොදු අරමුණින්, නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස ක්‍රියා කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් 4 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
එම විත්තිකරුවන්ට මෙයට පෙර ද අවස්ථා කිහිපයකදී ද්‍රවිඩ ව්‍යාපාරිකයන් බියගන්වා කොල්ලකෑ බවට චෝදනා එල්ල වී ඇත. 1 හා 2 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මොහාන් සෙල්ලපෙරුම මහතා පෙනී සිටියේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

