හස්ති සේනා මෙහෙයුමෙන් ගිනි අවියක්, හක්කපටස්, පතොරම් සහ මදු රැසක් සොයාගැනේ
වන අලි ඇතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වනජීවීන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව මහකනදරාව ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, හක්කපටස්, පතොරම් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා මදු රැසක් සොයාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
මහකනදරාව, මරදන්කල්ල, කරඩික්කුලම, මහකිරින්දේගම, මිහින්තලය අභයභූමිය සහ පුංචිකුලම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් සහ යුද හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මෙහෙයුම සඳහා 212 වන පාබල බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ප්‍රධාන දායකත්වය ලබාදී තිබේ.
21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමින්ද සිල්වා මහතාගේ සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සංවිධානය කර ඇත.
7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් සහ එහි බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන මහතාගේ සහභාගීත්වයෙන් මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
යුද හමුදා නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව යුද හමුදා සාමාජිකයන් 75 දෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්යක්ෂ චන්න සුරවීර මහතා ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරීන් ද, පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් උපදේශක රවීන්ද්‍ර කාරියවසම් මහතා ද මෙහෙයුමට සහභාගී වී තිබේ.
මහජන ආදරයට පාත්‍ර වූ ‘අග්බෝ’ හස්තියා ඇතුළු වන අලි ඇතුන් රැසක් නිරන්තරයෙන් සැරිසරන මෙම කලාපය වනජීවී අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත.
වන අලි ඇතුන් ඇතුළු සමස්ත වනජීවී සම්පතේ ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී දඩයම් කටයුතු මැඬපැවැත්වීම සහ වනජීවී අපරාධ අවම කිරීම ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

