ශෙයික් හසීනා යලි බංගලාදේශයට
ජන අරගලයකින් බලයෙන් නෙරපා දැමූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ලබන දෙසැම්බර් මස 16 වැනිදා නැවත මව්බිමට පැමිණෙන බව නිවේදනය කර තිබේ. 2024 වසරේ සිට ඉන්දියාවට පිටුවහල් වී සිටින හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශය වෙත රැගෙන යන ලෙස එරට රජයෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.
මේ වන විට මරණ දඬුවම් නියම වී සිටින ඇගේ නිවේදනය නිකුත් වී ඇත්තේ තහනම් කර ඇති ඇගේ අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන් පසුගිය සති කිහිපය ඇතුළත එරට විරෝධතා පවත්වමින් ද, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ද රට පුරා දැඩි නොසන්සුන්තාවක් පතුරුවමින් සිටින අතරතුරදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මේ මස මුල් භාගයේදී නව ගුවන් ගමන් බලපත්‍රයක් සහ අනෙකුත් ලිපිලේඛන ලබා දෙන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටි අතර, එරට බිමාන් එයාර් ජාතික ගුවන් සේවයට අයත් යානයකින් නැවත මව්බිමට පැමිණීමට පහසුකම් සලසන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.
වසර 2024 අගෝස්තු 5 වැනිදා දසදහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ඩකා අගනුවරට කඩා වැදී හසීනාගේ නිල නිවස අත්පත් කරගැනීමත් සමඟ ඉන්දියාවට පලා ගිය 79 හැවිරිදි හිටපු අගමැතිනිය නැවත පැමිණීමට දෙසැම්බර් මස 16 වැනිදා තෝරා ගෙන ඇත්තේ 1971 වසරේ පාකිස්තානයෙන් නිදහස ලැබීමේ යුද්ධය අවසන් වීම සනිටුහන් කරමින් බංග්ලාදේශය දෙසැම්බර් 16 දින විජයග්‍රහණයේ දිනය ලෙස සැමරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම නිදහස් සටනේදී නායකත්වය ගෙන කටයුතු කර ඇත්තේ හසීනාගේ පියා වන මුජිබර් රහ්මාන් වන අතර, නිදහස් අරගලය සිහිපත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ඇද වැටී ඇති බංග්ලාදේශයට නැවත නායකත්වය ලබා දීමට සූදානම් බවය.
හසීනාගේ එම නිවේදනය බංග්ලාදේශ රජයේ දැඩි විවේචනයට හේතුවී ඇති අතර, ඇයට සාමාන්‍ය මගියකු ලෙස නැවත මව්බිමට පැමිණීමට නොහැකි බවත්, ත්‍රස්තවාදියකු පිටුවහල් කර ගෙන්වා ගන්නා ආකාරයට නැවත බංග්ලාදේශයට රැගෙන එනු ලබන්නේ මාංචු සහිතව පමණක් බවත් බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති හුමායුන් කබීර් ප්‍රකාශ කර තිබේ.
නැවත බංග්ලාදේශයට පැමිණෙන බව ශෙයික් හසීනා මීට පෙර අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළද, නැවත පැමිණෙන දිනය නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු බංග්ලාදේශ රජය දැක්වූ පළමු ප්‍රතිචාරය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

