විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 9 දක්වා ඉහළට
ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් මේ වසරේ අවසානය වන විට මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 9ක් දක්වා ඉහළ යනු ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා විශ්වාසය පළ කළේය. පසුගිය වසරේදී ඩොලර් බිලියන 8.1ක් වූ විදේශ ප්‍රේෂණ මෙරටට හිමිව තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා, මේ වසරේ මෙම දක්වා කාලය තුළ ඩොලර් බිලියන 7.6ක් ලැබී ඇති බව ද සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් මිලියන 750ක් පමණ ලැබෙන බැවින් මේ වසර අවසානයේදී එය ඩොලර් බිලියන 9 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.
2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ලෝකයේ සංචාරක ව්‍යාපාරය යම් පහතවැටීමකට ලක්ව තිබුණ ද, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බවත්, මේ වන විට සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණ ඇති අතර වසර අවසාන වන විට එය මිලියන 2.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සංචාරක කර්මාන්තයට යොමු කිරීම දිරිගැන්වීම සඳහා මෙතෙක් අය කරන ලද සියයට 1ක සංචාරක සංවර්ධන බද්ද ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව ද පැවසීය.
මේ අතර, 2018 වසරේදී ඩොලර් බිලියන 4ක පමණ සංචාරක ආදායමක් ලබා තිබූ බවත්, දැනට ඩොලරයක අගය රුපියල් 337ක් වන බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ගණනය කිරීමේදී මීට පෙර සංචාරකයකු දිනකට වැය කළ ඩොලර් 182ක මුදල මේ වන විට ඩොලර් 143 දක්වා පහත වැටී ඇති බව පැවසීය. රටේ ප්‍රතිරූපය නැංවීම මෙන්ම තානාපති කාර්යාල හරහා සපයන ලද සේවාවන්ගෙන් රුපියල් මිලියන 6,600ක් ද, අමාත්‍යාංශයේ ඍජු කටයුතුවලින් රුපියල් මිලියන 8,100ක් ද, රැකියා ගිවිසුම් හා කොමිස් ආදියෙන් රුපියල් මිලියන 6,342ක් ද ලෙස සමස්තයක් ලෙස රුපියල් මිලියන 21,042ක ආදායමක් ද උපයා තිබෙන බව ප්‍රකාශ කළේය.
2026 වසර වෙනුවෙන් අමාත්‍යාංශයට රුපියල් මිලියන 23,000ක් වෙන්කර ඇති අතර, සංචාරක හා විදේශ ප්‍රේෂණවලට අමතරව අමාත්‍යාංශයේ ඍජු කටයුතුවලින් පමණක් ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 21,000ක ආදායමක් ලබා ගැනීමට හැකිව ඇති බව ද විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන සුභසාධන වරප්‍රසාද රැසක් නංවා ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.
විදේශගත ශ්‍රමිකයකු මියගිය අවස්ථාවක වන්දි ගෙවීමේදී මීට පෙර පැවති රුපියල් ලක්ෂ 6ක මුදල මේ වන විට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකර ඇති අතර, ලබන වසරේදී එය රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව ද පූර්ණ ආබාධිත තත්ත්වයන් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ ආබාධිත තත්ත්වයන් සඳහා රුපියල් ලක්ෂ 20ක් ද වන්දි වශයෙන් ලබාදීමට කටයුතු යොදා ඇතැයි කීය.
රැකියාවේ ගැටලු නිසා යළි පැමිණෙන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 3.5ක මුදල රුපියල් ලක්ෂ 6 දක්වා ඉහළ දමා ඇති අතර ඊට අමතරව බහුවිධ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන ණය මුදල රුපියල් ලක්ෂ 40 දක්වා වැඩිකර තිබෙන බව ද පෙන්වා දුන්නේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

