ක්‍රීඩා

ගෝල් ග්ලැඩියේටර්ස් පරදා ජැෆ්නා ස්ටැලියන්ස් LPL කුසලානය තමන් සතු කර ගනි

ලංකා ප්‍රිමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ (16) හම්බන්තොට දී පැවති අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

එහි දී ස්ටැලියන්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් විය.

ෂොයිබ් මලික් ලකුණු 46ක් හා නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 39ක් රැස් කිරීම මගින් තම ඉනිම ශක්තිමත් කිරීමට ඔවුන්ට හැකි විය.

ධනංජය ද සිල්වා ලකුණු 33ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 27ක් හා ජොන්සන් චාර්ල්ස් ලකුණු 26ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී ලකුණු 36කට කඩුලු 3ක් දවා ගැනීමට ධනංජය ලක්ෂාන්හට හැකි විය.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 135ක් පමණක් රැස් කිරීමටයි.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක කඩුලු අතර දිව යාමේ දී ඉතා අවාසනාවන්ත ලෙස දැවී යාමකට ලක් විය.

නායක භානුක රාජපක්ෂ පන්දු රැකීමේ දී ආබාධයකට ලක් වූ නමුත් ඔහු පන්දු 17ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 40ක් රැස් කරමින් තම ඉනිම ශක්තිමත් කරන ලදි.

අසාම් ඛාන් ලකුණු 36ක් රැස් කළ අතර සෙසු පිතිකරුවන් රැස් කළ ලකුණු ප්‍රමාණය තරගයේ ජයග්‍රාහී ඉලක්කය කරා ළගා වීමට ප්‍රමාණවත් නොවීය.

පන්දු යැවීමේ දී ලකුණු 7කට පළමු කඩුලු 3 දවා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වූ අතර, උස්මාන් ශින්වාරි සහ ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් විය.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින් 2020 LPL කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?