Latestදේශීයවිදේශීය

ඉරාන ජනාධිපති ගුවන්යානය අසල ඊශ්‍රායල් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොල උණුසුම් කරයි

ඉරාන ජනාධිපතිවරයා මෙරටින් පිටව යෑමට පැය කිහිපයකට මත්තෙන්, තාවකාලිකව මෙරට ගුවන් ගමන් නවතා තිබූ ඊශ්‍රායලයේ අර්කියා ගුවන් සේවයට අයත් IZ 639 ගුවන් යානය දැඩි ආරක්ෂක රැකවල් මැද කටුනායක ගුවන් පථය වෙත ඊයේ (24 වැනිදා) රාත්‍රි 8.50 ට ගොඩ බස්සවනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි ගුවන් යානය ඒ මොහොත වන විට A2 තටාකාංගනය තුළ ගුවන් හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැද නවතා තිබිණි.

ඊශ්‍රායල් අර්කියා ගුවන් යානය B-12 තටාකාංගනය වෙත ගොඩ බැස්සවීමත් සමග එය වටා ගුවන් හමුදාවෙන් දැඩි ආරක්ෂක වළල්ලක් යොදවා තිබිණි. ගුවන් යානා දෙක නවතා තිබූ පර්යන්තය අතර පරතරය මීටර් දෙසීය පනහකට අඩුය. ගුවන් යානා දෙක මගී පර්යන්තය දෙපැත්තට වන්නට නවතා තිබිණි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්‍රමිකයන් රැගෙන යෑමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිනි ගුවන් ගමන් නවතා දැමීමට අර්කියා ගුවන් සේවය කටයුතු කළේ ය. මෙම ගුවන් යානය අවසන් වරට මෙරටට පැමිණීමට සැලසුම්කර තිබුණේ අප්‍රේල් 17 වැනිදා වන නමුත් එය හදිසියේම අවලංගු කෙරිණි. මෙය ඊශ්‍රායලයේ සිට පැමිණෙන විට සීෂෙල්ස් දූපතට ගොස් එතැන් සිට ඉන්දියාවේ දූපතකින් විශේෂඥ ආරක්ෂකයන් සමග අධි ආරක්ෂිත උපකරණ ද සහිතව පැමිණ විශේෂ පරීක්ෂාවකින් පසුව මගීන් යානයට ඇතුළත් කරනු ලබන්නේය.

පසුගිය දිනවල අවලංගු වූ ගුවන් යානා මගින් ඊශ්‍රායලයට යෑමට සිටි මෙරට ශ්‍රමිකයන්ට කලින් දැනුම් දී තිබීම නිසා ගුවන් යානය වෙත දැඩි ආරක්ෂක රැකවල් මැද එම පිරිස ගොඩ නංවනු ලැබීය.

ඉරාන ජනාධිපති පිටව යෑමට සැලසුම් කර තිබූ මොහොතේ ඊශ්‍රායල් ගුවන් යානයක් කටුනායකට ගොඩබැස්සවීම දෙරටේ බලය පෙන්වීමට කළ එකක් බවට විශ්වාස කරන බව ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ගුවන් යානා දෙකම පිටව යනතුරු දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණි.

@ Aruna

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?