Latestදේශීය

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන්නේ ජනවාරි 5 වැනිදා

අද ( 13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ( 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව 2023 ජනවාරි 05, බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද පැවැත්වීමට ද තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර පෙර තීරණය කළ පරිදි අද (13) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ක‍ාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සදහා වන යෝජනාව ද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම සදහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

ආංශික අධීක්ෂණ කාරකසභා වලට අවශ්‍ය තරුණ නියෝජිතයන් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ. ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන එක් එක් විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයක් දක්වන තරුණ නියෝජිතයන්ගේ දත්ත බැංකුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද මහලේකම්වරයා පැවසීය.

ඒ සදහා තරුණ ප්‍රජාවගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව පුවත් පත් දැන්වීම් අවශ්‍ය පරිවර්තන සම්පූර්ණ කොට පළ කිරීමට ද කාරක සභාවේදී එකඟත්වය පළවූ බවත් මහලේකම්වරයා පැවසීය. ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමෙන් අනතුරුව එම දත්ත බැංකුවෙන් තරුණ නියෝජිතයන් අවශ්‍ය පරිදි කැඳවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?