දේශීය

26 හැවිරිදි තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණියක් ඇතුළු 5 ක් අත්අඩංගුවට

පෙබරවාරි මස 8 වන දින සීදුව පොලිස් වසමේ රත්දොළුව මුතුවාඩිය ප්‍රදේශයේ දී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

26 හැවිරිදි තරුණයෙක් වාහනයකින් ගමන්කරමින් සිටිය දී පැහැර ගැනීමට ලක් වූ අතර ඉන් දින 02කට පසුව මොහුගේ මෘත ශරීරය නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමේ ස්ථානයක දී සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඝාතනයට ලක්ව ඇත්තේ මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සීදුව පොලීසිය හා කොටවෙහෙර යන පොලිස් ස්ථාන විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණයා සතුව මාතර අනගාරික ධර්මපාල මාවතේ ගොඩනැගිල්ලක් තිබෙන බවත් එම ගොඩනැගිල්ල කුලියට ලබාදුන් පුද්ගලයා විසින් සැලසුම් සහගතව එම ඝාතනය සිදු කර ඇති බවත් ය.

කුලියට ලබා දුන් ගොඩනැගිල්ල නැවත ලබා ගැනීමට උත්සහ කිරීමේ දී ඇති වු වෛරයක් මත එම අපරාධය කර ඇති බව අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 22 හැවිරිදි මාතර හක්මන ප්‍රදේශයේ කාන්තාවක් ද සිටින බවයි.

එම කාන්තාව මුහුණුපොත ඔස්සේ අදාළ තරුණයා සමග සම්බන්ධයක් ඇති කර ගෙන පසුව එක්තරා හෝටලයක නැවතීමට  සීදුව ප්‍රදේශයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති අතර අදාළ තරුණයා වෑන් රථයකින් පැමිණීමෙන් පසු පිරිස ඔහු පැහැර ගෙන ගොස් නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේදී ඝාතනය කර පසුව මළ සිරුර කැලෑබද ප්‍රදේශයක දමා පළා ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?