දේශීය

2022 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙලෙස ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 76 වන අයවැයයි.

දින 23ක් පුරා පැවැත්වෙන විවාදයකින් අනතුරුව දෙසැම්බර් මස 10 වන දා අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට ප.ව. 2.00ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මෙය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය කතාව වන අතර එය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැයයි.

2022 වර්ෂය සඳහා වන වියදම් ඇතුළු විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් මස 07 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

හෙට දින මුදල් අමාත්‍යවරයා අයවැය දෙවන වර කියවීමෙන් පසු නොවැම්බර් මස 13 වන සෙනසුරාදා සිට 22 වන සඳුදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර නොවැම්බර් මස 22 වන සඳුදා ප.ව. 5.00ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවනවර කියවීම එළඹෙන නොවැම්බර් මස 23 වන දා ආරම්භවන අතර එතැන් සිට දෙසැම්බර් මස 10 වන දා දක්වා සෙනසුරාදා දින ද ඇතුළුව දින 16ක කාලයක් එය විවාද කෙරෙනු ඇත.

අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වන දා ප.ව. 5.00ට පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහා වන අතර එය රුපියල් බිලියන 373කි.

එමෙන්ම එළඹෙන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 185.9ක්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 127.6ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 153.5ක්ද වෙන්කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 243.9කි.

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා වන රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

එය මෙම වසරේ රජයේ වියදම වු රුපියල් බිලියන 2,538ට සාපේක්ෂව රුපියල් බිලියන 33කින් රජයේ වියදම කප්පාදු කිරීමකි.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් ද විකාශය කෙරෙනු ඇත.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගිවීමට අවසර ලබා දී තිබේ.

හෙට දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙනු ඇත.

අයවැය කථාව සිදුකිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය පැවැත්වේ. එහෙත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?