Latestදේශීය

රාජ්‍ය සේවකයා නෙමෙයි රාජපක්ෂවරුයි රටට බර – කම්කරු අරගල මධ්‍යස්ථානය

තම මංගල අයවැය ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවය රටට බරක් යනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශයත්, රාජ්‍ය සේවකයන් 80% ක් රට කෑ බව ප්‍රකාශ කළ ගයාශාන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සියළු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ දමන ලෙසත් ඉල්ලා අද (18) කම්කරු අරගල මධ්‍යස්ථානය කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් ධම්මික මුණසිංහ මහතා,

“මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රාජ්‍ය සේවය රටට බරක් කීම වැඩකරන ජනතාව පැත්තෙන් හෙළා දකිනවා. ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා රාජ්‍ය සේවකයන් 80% රට කෑවා කියලා.

මුලින්ම කියන්න ඕනා මේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්. මේ එන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි වලට යටත්වෙලා රාජ්‍ය සේවය හකුළන්න කියන එක පැහැදිලියි. මේ දුන්නෙ ඒකට සිග්නල් එකක්.

අපි බලන්න ඕන රාජ්‍ය සේවය රටට බරක් කියද්දි , මොකද්ද මේ රාජ්‍ය සේවය කියන්නෙ කියලා. රාජ්‍ය සේවය කියන්නේ මහජනතාවට සේවය කරන තැන. අපි දැක්කා කොවිඩ් වසංගතය තුළ රාජ්‍ය සේවකයින් කරපු වැඩ. ඔවුන් නැත්නම් අද ආණ්ඩුවට පුරාජේරු ගහන්න වෙන්නෙත් නෑ.

අනෙක් පැත්තෙන් අපි අහනවා රාජ්‍ය සේවයේ 30% ක් වගේ ඉන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය. එතකොට මේ කියන්නෙ ඔවුන් ගැන ද කියලා අපි අහන්න කැමති.

ඒ වගේම රටේ ජනතාව දන්නවා  කවුද අද රටට බරක් වෙලා තියෙන්නෙ කියලා. අද රාජපක්ෂ පවුලෙ බහුතරයක් රාජ්‍ය ආයතන වල. මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , චමල් රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ ඉඳන් නෑදෑයෝ පාර්ලිමේන්තුවේ . ඒ අතර තව පුතෙක් පළාත් සභා එන්න සූදානමින් වැඩ අල්ලලා.

ජනතාවට උහුලන්න බැරි මැති ඇමතිවරු රොත්තක් ඉන්නවා නඩත්තු කරන්න. ඔවුන් ගැන කතාවක් නෑ.

ඔබ දන්නවා ඇති මන්ත්‍රී වැටුප රු.54258.00ක්, කැබිනට් ඇමති වැටුප රු.65,000.00ක්, නියෝජ්‍ය ඇමති වැටුප රු63,000.00ක්. අගමැති වැටුප රු.71,500.00ක්. මේ වැටුප විතරයි.

ඊට අමතරව දීමනා ගොන්නක්. පාර්ලිමේන්තු රැස්වීමට එනවට එක වතාවකට රු.2500.00ක්, දුරකථන දීමනා රු.50,000ක්, තැපැල් දීමනා රු.35,0000ක් රියදුරු හා සංග්‍රහ දීමනා රු.45,000ක් මේ ටිකයි. දැන් බලන්න කවුද රටට බර..

වැඩකරන ජනතාව වැටුප් අරගලයකට සූදානම් වෙන වෙලාවක තමා, ආණ්ඩුව මේ කතා කියන්නෙ. බැසිල් රාජපක්ෂ කියනවා ලොසින්ජර් දෙන්න බෑ කියලා. අපි කියනවා ලොසින්ජර් දීලා අරගලය නතර කරන්නත් බෑ කියලා. මොකද පහුගිය කාලෙ භාණ්ඩ වල මිල ඉහළ යෑම නිසා අද ජීවත් වෙන්න බැරි තැනක ඉන්නෙ. මාසෙකට ආහාර වලට යන වියදම් විතරක් අවම රුපියල් 7000.00 කින් විතර ඉහළ ගිහිල්ලා තියෙන්නෙ ..

ආණ්ඩුවට කියනවා දැන් කයිවාරු ගහලා වැඩක් නෑ. නොහැකියාව අපිට පේනවා. ඒ නිසා කරපු ප්‍රකාශ වහාම ඉල්ලා අස්කර ගන්න ඕන.ඒ වගේම ජීවන වියදමට සරිලන සේ අනිවාර්යයෙන් වැටුප් වැඩිවීමක් ඕන.  දැනටමත් රාජ්‍ය අංශයේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධ වූ අරගලයකට සූදානම් වෙමින් ඉන්නෙ.

වැඩකරන ජනතාවගෙන් ඉල්ලන්නවා ආණ්ඩුවේ ප්‍රකාශයට එරෙහි වෙන්න වගේම වැටුප් වැඩි කරගන්න අරගලයට එකතු වෙන්න කියලා”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?