දේශීය

යුගදනවි පෙත්සම් සඳහා දින නියම වේ

කෙරවලපිටිය යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීම සඳහා ලබන මස 16 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළේය.

එම බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබේ.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සලකාබැලීම ලබන මස 16 සහ 17යන දිනවල සිදු කරන බවයි.

විරෝධතා තිබේනම් ඒවා ලබන මස 06 වන දිනට පෙර ගොනු කරන ලෙස ද අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ලබන 13 වන දා දක්වා පෙත්සම්කරුවන්ට කල් ලබා දුන්නේය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව මීට පෙර දන්වා තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?