දේශීය

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නැහැ – අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසා දැමීමක් පිළිබඳව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක කළ බව ද නැවත රට විවෘත කළ ද, මෙරටින් සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කර ඇතැයි ඉන් අදහස් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ අති විශාල පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් අඩු වයස් කාණ්ඩවල දරුවන් පවා එන්නත්කරණයට ලක්කර තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, කිසිවෙකු ආරක්ෂිත යැයි ඉන් අදහස් නොකරන බව ද පැසුවේය.

එළඹෙන උත්සව සමයේදී වගකීම් සහගත ලෙස තම ආරක්ෂාව ඉහළින් සළසා ගනිමින් තම දරු පවුල් වල ආරක්ෂාව ද සළසා ගනිමින් සෞඛ්‍ය අංශ මගින් නැවත නැවත සිහිපත් කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මුහුණු ආවරණ පැළඳ සිටින ලෙස මෙරට ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසුවේය.

දැනටමත් තුන්වන එන්නත ලබාදීම සඳහා රජය කටයුතු කර ඇති අතර මෑතකදී වාර්තා වුණු ඔමික්‍රෝන් ප්‍රභේදය සමග නැවත ලෝකය තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙතෙක් එන්නත් ලබා නොගත් කෙනෙකු සිටී නම් ඔවුන් දැනටමත් ප්‍රමාද නැති බවත් ඉක්මණින් ගොස් එන්නත් ලබාගන්නා ලෙසත් ඉල්ලා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුගේම සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව රැදී තිබෙන්නේ අප සියලු දෙනාගේම කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මත බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?