Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් ලොක්කන්ගේ බරපතල වාග් සංග්‍රාමය

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පෙර සූදානම හා සැලසුම් සම්බන්ධව ක්‍රිකට් තාක්ෂණික කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගියදා පැවැති සාකච්ඡාව සම්බන්ධව වාර්තාවක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට බාර දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ලබන ජුනි මස සිම්බාබ්වේහි පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිලට සිදු වූයේ පසුගිය නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලිය පරාජයට පත්වීම හේතුවෙනි. මේ වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින තරගාවලියට සෘජු සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීම සම්බන්ධයෙන් ද තාක්ෂණික කමිටුව හා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් අතර සාකච්ඡාවට ලක්වූ බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ සාකච්ඡාව ගැන වාර්තාව සකස් කරලා ඇමැතිතුමාට බාර දුන්නා. නිරීක්ෂණ හා නිර්දේශ ඊට ඇතුළත් වෙනවා. ඉදිරි පියවර ගැනීම ඇමැතිතුමාගේ වගකීමක්.” මේ පිළිබඳ කළ විමසුමකදී තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු කියා සිටියේය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබූ ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා ලෙස සනත් ජයසූරිය සමඟ එහි සාමාජිකයන් වන චරිත් සේනානායක, ෆර්වේස් මහරූෆ් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහත්වරු එම සාකච්ඡාවට සහභාගි වූ අතර, එහිදී සනත් ජයසූරිය ඉලක්ක කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වූ බව ඇතැම් වාර්තා මඟින් සඳහන් විය.

“ඒවා සාමාන්‍ය දේවල්. වාද විවාද වෙනවා තමයි. අපි ගියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝජනයක් විදිහටනේ. මොකක්ද සැලසුම කියල අහන්න එපායැ. මොකද මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සැහැල්ලුවට ගන්න බෑ. මේකෙන් එළියට ගියොත් අපේ ක්‍රිකට් ඉවරයි.” තාක්ෂණික කමිටුවේ සාමාජිකයා වැඩිදුරටත් පැවැසීය. එසේ වුවද සුදුසුකම් ලැබීමේ තරගාවලිය සම්බන්ධ සැලසුම් කවරේදැයි ජනතාවට උත්තර බැඳීමට සූදානම් නැති බව ක්‍රිකට් ආයතනය පාර්ශ්වයෙන් එම සාකච්ඡාවේදී සඳහන් වූ බවට තොරතුරු වාර්තා වී තිබිණි.

“ඒ වුණාට ඇමැතිතුමා ජනතාවට උත්තර බඳින්න එපෑය. ඒත් එයාලා ඒක පිළිගන්න සූදානම් වුණේ නෑ. ඒ සාකච්ඡාවේදී අපි මොනවද කිව්වේ ? එයාලා මොනවද කිව්වේ කියන කාරණා සියල්ලම ඇමැතිතුමාට බාර දුන්නු වාර්තාවේ තියෙනවා.” ඔහු වැඩිදුරටත් එසේ කීවේය.

දෙපාර්ශ්වය අතර සාකච්ඡාවේදී අරමුණු කරගත් ප්‍රධාන කාරණාවෙන් ඔබ්බට ගිය අදාළ නොවන කාරණා ද කතාබහට ලක්වී ඇති බවටත්, සනත් ජයසූරියට පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පනවනු ලැබූ තහනම සම්බන්ධව ද එහිදී අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීමකට ලක් වී ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබිණි. “ඒක පරණ සිද්ධියක් නේ. සනත්ව අයිසීසී එකෙන් ක්ලියර් කරලා තියෙන්නේ 2020දි නේ. ඒක දැන් වැඩකට නැති කතාවක්.” අදාළ සාමාජිකයා එසේ ද කීවේය.

එම සාකච්ඡාවට තාක්ෂණික කමිටුවේ සියලුම සාමාජිකයන් එක් නොවූ බවත්, ක්‍රිකට් ආයතනයට යෑම නොව ඔවුන් අමාත්‍යාංශයට ගෙන්වා සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බවට ඔවුන් යෝජනා කර තිබූ බවක් ද වාර්තා විය.

“එහෙම අදහසක් නම් පළ වුණා තමයි. ඒත් අපි ගියේ ක්‍රීඩාවේ නාමයෙන්. මොකක්ද සැලසුම කියලා අහන්න. අපි ක්‍රීඩාවට වැඩක් කරන්න පත් වුණු කමිටුවක්. පෞද්ගලික හේතු මත වැඩ කරන එක වැරැදියි. මේ ඔක්කොම අද ඇමැතිතුමාට දුන්නු වාර්තාවට ඇතුළත් වෙනවා.” තාක්ෂණික කමිටුවේ සාමාජිකයා වැඩිදුරටත් එසේ කීවේය.

එම සාකච්ඡාවෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සහ තාක්ෂණික කමිටුව අතර වි‍ශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති අතර, ඊට ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා ද එක් වූ බව වාර්තා වේ.

(ෆවුස් මොහොමඩ්)

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?