Latestදේශීය

තෙල් ටැංකි පවරා දීම ජනතාව පාවා දීමක් – පුබුදු ජාගොඩ

කඩිමුඩියේ අත්සන් කරන්නට යෙදුනු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාල ගිවිසුම ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ජනතා පරමාධිපත්‍ය බලය බරපතල ලෙස උල්ලංඝනය කරන්නක් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවනසවා. පසුගියදා (07) මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු සදහන් කළේ තෙල් ටැංකි වලට අදාල ඉන්දියාව සමග අත්සන් කළ 1987 ගිවිසුමේ සිට 2003, 2017 ගිවිසුම් ද නීති විරෝධී බවත් වත්මන් ආන්ඩුව අත්සන් කරන්නට යෙදුනු ගිවිසුම එම සියලු ගිවිසුම් වලට වඩා භයානක ප්‍රතිඵල රටට අත්කර දීමට නියමිත බවත්ය.  ඉන්දු ලංකා ගිවිසුමේ සිට විවිධ ආන්ඩු විසින් අත්සන් කරන්නට යෙදුනු ගිවිසුම් පිළිබදව සවිස්තරාත්මකව කරුණු දක්වමින් ජාගොඩ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ මාධ්‍ය ප්‍රකාශය මෙසේය,  

ඊයේ රාත්‍රියේ (06) කඩිමුඩියේම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය IOC ඉන්දියානු  සමාගමට ලබා දීම සදහා වන ගිවිසුම අත්සන් කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුනේ මීට කලින් කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් වලින් 40%ක්  new fortress energy කියන ඇමරිකානු සමාගමට ලබාදීමත් ඒ වගේම ලංකාවට එල් එන් ජී සැපයුම සදහා වන පූර්ණ ඒකාධිකාරිය ඒ සමාගමට ලබාදීමටත් අදාල වන ගිවිසුම මහා රැ අත්සන් කිරීමෙන් අනතුරුව.

දැන් දිගින් දිගටම සිද්ධ වෙමින් පවතින දෙයක් තියෙනවා, ඉතාම වැදගත් ගිවිසුම්, ලංකාවේ ආර්ථිකය සම්බන්ධ, ලංකාවේ දේශපාලනය සම්බන්ධ, ලංකාවේ ජනතාවගේ තීන්දුගැනීමේ අයිතියත් එක්ක සම්බන්ධ ඉතාම බරපතල ගිවිසුම් මහා රාත්‍රියේ මිනිස්සු නිදාගෙන ඉද්දි වව්ල්ලු බකමුණෝ විතරක් ඇහැරලා ඉද්දි අත්සන් කරන පුරුද්දකට ගිහිල්ලා තියෙනවා. ඊයෙත් ඒ විදියටමයි සිද්ධ වෙන්නේ.

මේ ගිවිසුම් එකක්වත් ඉදිරිපත් කරලා නැහැ ජනතාවට. මේ ගිවිසුම් ඉදිරිපත් කරලා නැහැ පාර්ලිමේන්තුවට. මේ ගිවිසුම් ඉදිරිපත් කරලා නැහැ අඩුම තරමේ කැබිනට් මණ්ඩලයට. කිසිම කෙනෙකුට ඉදිරිපත් නොකර හොර රහසේ මහා රාත්‍රියේ මේ ගිවිසුම් අත්සන් කිරීමකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ගිවිසුම් ගත්තට පස්සේ, මේ ගිවිසුම් ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නීතියට පවා පටහැනි ඒවා. ඊට අමතරව ගත්තොත් එහෙම මේ වගේ ගිවිසුම් අත්සන් කිරීම කියන්නේ ජනතාවට තමන්ගේ ඉරණම පිළිබද තීරණ ගැනීම් බලය, පරමාධිපත්‍ය බලය ඉතාම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්.

දැන් ප්‍රශ්ණෙ තියෙන්නේ මේ ගිවිසුම් අත්සන් තබලා  තියෙන්නේ කොයි විදිහටද? දැන් මුළින්ම ඊයේ අත්සන් කරා යැයි සැලකෙන මේ ගිවිසුම, modalities agreement කියන සාමාන්‍යයෙන් IOC සමාගම සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර අත්සන් කළා යැයි සැලකෙන modalities agreement එක තමයි මේ. මේ ගිවිසුම විතරක් ඉදිරිපත් කරලා තිබුනා පාර්ලිමේන්තුවට. 2021 දෙසැම්බර් මාසෙ 30 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේකට අනුමැතිය අරන් තියෙනවා 2022 ජනවාරි මාසේ 03 වෙනිදා. ඒ අනුමැතිය මත පදනම් වෙලා තමයි මේ අත්සන් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ.

මේකට අදාලව ගම්මන්පිල අමාත්‍යවරයා කරුණු ගණනාවක් මතුකරනවා ඒ කරුණු සියල්ලම වැරදියි. දැන් උදාහරණයක් විධියට ඔහු ඉතිහාසයේ කලින් ගිවිසුම් 3ක් ගැන කියනවා.

පළවෙනි ගිවිසුම තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම. දෙවෙනි ගිවිසුම තමයි  2003 තෙල් ටැංකි බදු දීම සදහා බුක්තිය පැවරීම සදහා වන ගිවිසුම, ඊට පස්සේ 2017 ශුෂ්මා ස්වරාජ් සහ මලික් සමරවික්‍රම අතර අත්සන් කළ ගිවිසුම.

මේ ගිවිසුම් 3 ගැන කියලා ගම්මන්පිල  කියනවා මේ ගිවිසුම් 3න් කොහොමත් ඉන්දියාවට තෙල් ටැංගි ටික දීලා තිබුනා. ඒ නිසා අළුතින් දීමක් සිද්ධ වෙලා නෑ කියලා. ඒ කියන එකමත් එකිනෙකට පරස්පරයි.

1987 ගිවිසුමෙන් කොහොමත් තෙල් ටැංකි ඉන්දියාටට අයිතිව වෙලා තිබුනානම් ඇයි 2003 ගිවිසුමක් අත්සන් කරන්නේ? 87 සහ 2003 ගිවිසුම් වලින් තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී තිබුනා නම් ඇයි 2017 ගිවිසුමක් අත්සන් කරන්නේ?කොහොමත් මේවා ඉන්දියාවට පවරලා තිබුනා නම් දැන් 2022  ඇයි ජනවාරි මස 06 දින රාත්‍රි හොර රහසේ ගිවිසුමක් අත්සන් කරන්නේ, තෙල් ටැංකි 14ක් IOC එකට දෙනවා කියලා. 

දැන් මේකට අදාල ඔයු කියන කරුණු. 1987 ජුලි 29 වෙනිදා අත්සන් කරපු ඉන්දු ලංකා ගිවිසුමේ මේ කරුණු අඩංගුයි කියලා ඔහු කියනවා. කිවුවට ගිවිසුමේ මේකට අදාල කරුණු කිසිවක් අඩංගු නැහැ. හැබැයි මූළික ගිවිසුමට අමතරව 1987 ජූලි 29 වෙනිදා හුවමාරු වෙච්ච ලිපි 2ක් තියෙනවා මේ කරුණ අඩංගු. ඒ ලිපි දෙක ගිවිසුමේ කොටසක් ලෙස සලකනවා කියල තමයි කියන්නේ. එකක් තමයි, ජේ ආර් ජයවර්ධනගේ අත්සනින් යුතු ලිපිය. අනික තමයි රජිව් ගාන්ධිගේ අත්සනින් යුතු ලිපිය. ලංකාවේ ජනාධිපතිවරයා සහ ඉන්දියාවේ අගමැතිවරයාගේ අත්සනින් යුතු ලිපි දෙකක් තියෙනවා.

ඒ ලිපි දෙකේම සදහන් වෙනවා “The work of storing and operating the trincomlee oil tank farm will be undertaken as a joint venture between India & Sri Lanka. “

ඒ කියන්නේ,  ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ සහ ඒකෙ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හවුල් සමාගමක ස්වරූපයෙන් සිදුවෙනවා කියල වගන්තියක් තියෙනවා.   මේකෙ කොහේවත් නෑ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට තමයි දීලා තියෙන්නේ මේකේ අයිතිය ඉන්දියාවටයි කියලා.

ගිවිසුමේ එකගතාවයක් හැදිලා තියෙනවා තෙල් ටැංකි සංවර්ධනය කිරීමක් සිදු කරනවා නම් ලංකාවේ ආන්ඩුවට කොහොමත් කරන්න පුළුවන්. නමුත් වෙනත් රටක් සමග තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට යනවා නම් ඒක කරන්න ඕනා ඉන්දියාවත් එක්ක කියලා.

ඒකට බලපෑවේ එවකට තිබුනු දේශපාලන තත්ත්වය. ඒකාලේ ඇමරිකා එක්සත් ජනපදයයි සෝවියට් දේශයයි අතර තරගයේ දී ඉන්දියාව හිටියේ සෝවියට් දේශය පැත්තේ. ඇමරිකාවට උවමනාව තිබුනා තෙල් ටැංකි වල බලය අත් පත් කරගෙන ත්‍රිකුණාමල වරායේ බලය තමන් සතු කර ගන්න.  සෝවියට් දේශයට සහ ඉන්දියාවට එරෙහිව. ඒ නිසා තමයි ඉන්දියාව වෙනත් රටක් බෑ. තෙල් ටැංකි සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරනවා නම් ඉන්දියාව තමයි කරන්න ඕනා කියල වගන්තියක් මේකෙ දාලා තියෙන්නේ.

නමුත් ඒක නීත්‍යානුකූල වෙන්න නම් මේකට ගිවිසුමක් අත්සන් වෙන්න ඕනා මොකක්ද ඒ (Joint Venture Company) ගිවිසුම? ඒ(JVC) එක අත්සන් වෙන්න අවශ්‍යයි. හවුල් සමාගමක් ආරම්භවීමට අදාල ගිවිසුමක් ඕනා, (Joint Venture Company) එහෙම ගිවිසුමක් අත්සන් වෙලා නැහැ. ඒ නිසා 1987 දී මේ ටික ඔක්කොම ඉන්දියාට දීලා තිබුනා කියන එක සම්පූර්ණ වැරදියි. අනික ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගිවිසුමක් නෙමෙයි. ඒක රටවල් දෙකක් අතර අත්සන් කරපු ගිවිසුමක්. ඒකේ කොහේවත් නැහැ මේ ගිවිසුමේ කරුණු කවුරු හරි කඩකළොත් මොකද වෙන්නේ කියලා.

අනිත් එක ඉන්දුලංකා ගිවිසුම රටවල් දෙකක් ස්වෙච්ඡාවෙන් අත්සන් කරපු ගිවිසුමක් නෙමෙයි. ජේ ආර් ජනාධිපතිවරයාගේ අත අඹරවලා තමයි මේ ගිවිසුමට අත්සන් ගත්තේ කියලා එවකට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් වරයාව හිටපු ජේ එම් ඩික්සිත් කොළඹ භූමිකාව කියන පොතේ සදහන් කරල තියෙනවා.

එතකොට මේක බලහත්කාරයෙන් අත්සන් කරවපු එකක්. මේක ලංකාව පිළිපැදිය යුතු නැහැ. ඊලග කාරණය මේ ගිවිසුම දැන් කොහොමත් බලාත්මක නැහැ මේ ගිවිසුමේ අඩංගු කරුණු ගොඩාක් උදාහරණයකට සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේ ඉදලා මේ ගිවිසුමේ අඩංගු කරුණු ගොඩාක් දැන් උල්ලංඝනය වෙලා ඉවරයි. ඉතුරු ඔක්කොම කරුණු උල්ලංඝනය වෙද්දී තෙල් ටැංකිවලට අදාල කරුණු විතරක් උල්ලංඝනය නොවී තියෙනවා කියලා ගම්මන්පිල අමාත්‍යවරයා කියද්දී ඒක සම්පූර්ණ විහිළුවක්.

අනිත් එක මේකෙන් මේ විදිහට ඔක්කොම දීලා තිබුනා නම් ඇයි ආයෙත් ගිවිසුම් අත්සන් කරන්න වුනේ කියන ප්‍රශ්ණය පැනනගිනවා. 1987 ගිවිසුමෙන් මේ තෙල් ටැංකි ඉන්දියාවට දීලා තිබුනේ දැන් මේ ටැංකි ටික ගන්න හදන්නේ කියන කරුණු සම්පූර්ණයෙන්ම වැරදියි.

2003 පෙබරවාරි මාසේ 07 වෙනිදා අත්සන් කරපු ගිවිසුම.  මේ අත්සන් කරපු ගිවිසුමේ තෙල් ටැංකි 99ට අදාල ඉඩම සහ තෙල් ටැංකි 99ට අදාල බුක්තියක් පවරලා තියෙනවා ඉන්දියානු IOC සමාගමට. හැබැයි ඒ පැවරුවාට මේ ගිවිසුමේ 1.2 වගන්තියේ හරිම නිෂ්චිතව සදහන් වෙලා තියෙනවා

මේ ගිවිසුම අවබෝධතා ගිවිසුමක්. මේ අවබෝධතා ගිවිසුම අත්සන් කළ දිනයේ සිට මාස 6ක් ඇතුළත විධිමත් නීත්‍යානුකූල බදු ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා සදහන් වෙලා තියෙනවා 1.2 වගන්තියේ. සාමාන්‍යයෙන් මේ වගේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න බැහැ නීත්‍යානුකූල බදු ගිවිසුමක් නැතුව.  ඒ අනුව 2003 අගෝස්තු මාසේ 07 වෙනිදාට කලින් බදු ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබුනා. නමුත් එහෙම බදු ගිවිසුමක් අත්සන් කරලා නැහැ. මේ අවුරුදු 18 පුරාවටම එවැනි නිත්‍යානුකූළ බදු ගිවිසුමක් අත්සන් කරලා නැහැ.

එතකොට මේ තෙල් ටැංකි 99ක බුක්තිය පැවරුවා, පහළ අංගනයේ තියෙන තෙල් ටැංකි 15 සහ බට පද්ධතියත් නල පද්ධතියත් ඇතුළුව නැව් තෙල් සැපයීමේ සම්පූර්ණ බංකරින් අයිතිය IOC එකට පැවරුවා කියන ඒ මුළු ගිවිසුමම නිත්‍යානුකූල නැහැ. ඒ නිසා එහෙම බැදීමක් ලංකාවට නැහැ.  දැන් මේ තියෙන්නේ බලහත්කාරයෙන් වංචනික ලෙස අපේ ඉඩමක ගේක කවුරු හරි පදිංචි වෙලා. ගෙදර කාමර දෙකක් බලෙන් අල්ලගෙන පදිංචිවෙලා ඉන්නවා. මුළු ගෙටම මටයි බුක්තිය තියෙන්නේ කියලා කියනවා. කිසිම ගිවිසුමක් නැහැ. ගිවිසුමක් නැතුව, ඔප්පුවක් නැතුව, බදු පැවරීමක් නැතුව බලහත්කාරයෙන් කාමර දෙකක පදිංචිවෙලා ඉන්න කෙනාට ගම්මන්පිල ගිහින් කියනවා කොහොමත් මේක ඔයාට අයිති එක. අපි ඔයාට කාමර 3ක්ම දෙන්නම් කියලා ගේ ලියලා දෙන්න හදනවා.   ඒවගේ එකක් මේක.

අනිත් එක මේ ගිවිසුමේ ඉතා පැහැදිලිව සදහන් වෙනවා එක ටැංකියක් සදහා එක අවුරුද්දකට ඩොලර් ලක්ෂයක ගෙවීමක් කරනවා බදු ගෙවීමක් ඉන්දියාව විසින් ලංකාවට.

නිෂ්චිතව 2.3 වගන්තියේ සදහන් වෙනවා අවුරුදු 5කට පස්සේ ඒ ඩොලර් ලක්ෂය කියන එක සමාලෝචනය කරලා බදු කුලියේ වැඩිකිරීමක් කරනවා කියලා. හැබැයි තවමත් ගෙවන්නේ එක ටැංකියකට අවුරුද්දකට ඩොලර් ලක්ෂයයි. තවමත් ගෙවන්නේ ඒ ගාන. 2003 අවබෝධතා ගිවිසුමේ කරුණුවත් පිළිපැදලා නැහැ. ඒ නිසා 2003 ගිවිසුම අවලංගුයි. ඒක නිෂ්චිතවම නීත්‍යානුකූල නොවන ගිවිසුමක්.

3වන ගිවිසුම කියන්නේ 2017 දී ස්වරාජ් ෂුෂ්මා සහ මලික් සමරවික්‍රම අතර අත්සන් කරපු ගිවිසුම. ඒ ගිවිසුමත් අවබෝධතා ගිවිසුමක්. මේ අවබෝධතා ගිවිසුම කිසිසේත්ම වලංගු ලියවිල්ලක් නෙමෙයි. මේකෙ තියෙන විදිහට තෙල් ටැංකි වලින් 14ක් IOC එකට දීලා 10ක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට දීලා ඉතුරු 75 හවුල් සමාගමක් යටතට යනවා කියලා තමයි මේ ගිවිසුමේ තියෙන්නේ.  මේ ගිවිසුම ක්‍රියාත්මක වුනේ නැහැ. මේ ගිවිසුම ක්‍රියාත්මක වෙලා නම් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අළුතින් තෙල් ටැංකි 24ක් පවරගන්නවා කිය කිය නාහෙන් අඩන්න දෙයක් නෑ ගම්මන්පිලට. මේ ගිවිසුම නීත්‍යානුකූල නැහැ. මේ ගිවිසුම අවලංගුයි.

එතකොට මේ ගම්මන්පිල කියන ගිවිසුම් 3ම 87ඉන්දුලංකා ගිවිසුම 2003 ගිවිසුම සහ 2017 ගිවිසුම යන මේ ගිවිසුම් තුනම අවලංගු වෙච්ච නීත්‍යානුකූල නොවන ගිවිසුම්. එතකොට නීත්‍යානුකූල නොවන ගිවිසුම් ගැන කියමින් තමයි කියන්නේ මේක ඉන්දියාවට තියෙනවා කියලා. දැන් ඉන්දියාව කිසිම ගිවිසුමකින් තොරව IOC සමාගම බලහත්කාරයෙන් තමයි මේකේ රැදී ඉන්නේ. බලය පෙන්නන්නේ.

ඒ නිසා දැන් නීත්‍යානුකූලව කටයුතු කරනවා නම් ඉන්දියාව මෙතනින් අයින් කරන්නයි තියෙන්නේ. අළුත් ගිවිසුම් ගහන්න නෙමෙයි. හැබැයි දැන් අළුත් ගිවිසුම් ගහනවා. අළුත් ගිවිසුම් කිවුවට මේ අත්සන් කරන ගිවිසුමේ තියෙනවා ගිවිසුම් 3ක්. එක තමයි බදු ගිවිසුම. බදු ගිවිසුම යටතේ මේකේ අක්කර අටසිය විසිගානක ඉඩමක් තියෙනවා. ඒ ඉඩම, ඉඩමේ පිහිටා තියෙන තෙල් ටැංකි 99, ඒකේ නල පද්ධතිය, නැව් තෙල් අංශය, මෙන්න මේවා බදු දීම අවශ්‍යයි. එතකොට බදු ගිවිසුමක් ඕනා කෝ බදු ගිවිසුම? අංක දෙකට modality agreement එක ඕනා. මේ modality agreement එකේ තමයි තියෙන්නේ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියන ෆ්‍රේම් වර්ක් එක.

අංක තුනට ඕනා (JVC)  හවුල් සමාගමට (Joint Venture Company) අදාල ගිවිසුමක්.  නමුත් 2021 දෙසැම්බර් මාසේ 30 දිනැතිව 2022 ජනවාරි මාසේ 03 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු ලේඛනවල තියෙන්නේ මොඩලිටි ගිවිසුම විතරයි. ඉතුරු ගිවිසුම් නැහැ. මොඩලිටි ගිවිසුම බැලුවමත් අපිට තේරෙනවා කලින් ගිවිසුම් වලටත් වඩා මේක ඉතාම බරපතලයි. ඒ කියන්නේ 1987, 2003 සහ 2017 ඔය කියන එකගතාවලටත් වඩා  මේක ඉතාම බරපතලයි.

2003 ගිවිසුම්වල තියෙන්නේ තෙල් ටැංකි වල බුක්තිය විතරයි IOC සමාගමට පවරලා තියෙන්නේ. බුක්තිවිදින්න පුළුවන් නමුත් වෙන දෙයක් ඒගොල්ලන්ට කරන්න බැහැ. නමුත් මේ මොඩලිටි ගිවිසුමට අනුව ත්‍රිකුණාමල වරායේ ඉදිකිරීම් වල වෙනස් කම් පවා කරන්න පුළුවන්. නල පද්ධති වල වෙනස් කම් කරන්න පුලුවන්. තෙල් ටැංකි වල වෙනස් කම් කරන්න පුලුවන්. ඒ කියන්නේ දැන් නීත්‍යානුකූල බදු ගිවිසුමක් වත් නැතුව ගෙදර කාමර දෙකක බලෙන් පදිංචි වෙලා ඉන්න කෙනාට ගේ වෙනස් කරලා අළුතින් හදන්නයි, ගෙදරට අළුතින් කාමර එකතු කරන්නයි, කුස්සිය කඩන්නයි, ඔක්කොම ටිකට ඉඩ දීලා තියෙනවා අළුත් ගිවිසුමෙන්. කලින් ගිවිසුම් තිබුනේ අවුරුදු 35කට, 2003නේ. මේක හදලා තියෙන්නේ අවුරුදු 50කට. 2003 ගිවිසුම අවුරුදු 35කට තිබුනට 2003නේ නිසා අත්සන් කළේ 2038 දී අවලංගු වීමට නියමිතයි. එතකොට තව අවුරුදු 16යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තමයි තව අවුරුදු 50කට දික්කරන්නේ.

කලින් ගිවිසුමට අනුව යම්කිසි ආරවුලක් මතභේදයක් ඇති වුනොත් ඒකෙදි ක්‍රියා කරන්නේ ලංකාවේ නීතියට අනුව. ලංකාවේ අධිකරණය ලංකාවේ නීතියට අනුව තමයි ඒ පිළිබද තීරණ ගන්නේ. නමුත් මේ අළුත් ගිවිසුමේ සම්පූර්ණයෙන් තියෙන්නේ ආරවුල් නිරාකරණයට යන්නේ සිංගප්පූරුවට. ලංකාවේ අධිකරණයට කිසිදු මැදිහත්වීමක් කරන්න බැහැ.

ඒ වගේම මේ ගිවිසුමේ 1.4 යටතේ තියෙනවා දැනට ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු ඒවත් නැවත බදු දෙන්න පුළුවන්. ඒකියන්නේ මෙහෙමනේ. දැන් ගම්මන්පිල කියනවා, 14 ක් බදු දෙනවා IOC එකට. හවුල් සමාගමට දෙනවා 61ක්. 24ක් හම්බවෙනවා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට. එකක් ඒ 24 මොකක්ද කියලත් කියන්නේ නැහැ. ඔතන තෙල් ටැංකි 21ක් තියෙනවා අළුත්වැඩියා කරලවත් පාවිච්චි කරන්න බැරි. එතකොට ඒවටික තමයි මේ සංස්ථාවට දෙනවා කියලා කියන්නේ. සංස්ථාවට දෙන ටිකත්, අවශ්‍යනම් ආයෙත් IOC එකට බදු දෙන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ගිවිසුම හදන්නේ.

එතකොට මේ ගිවිසුම ඉතාමත්ම දරුණු, සමාජ විරෝධී, ජනතා ද්‍රෝහී, පාවාදීමේ ගිවිසුමක්. 2003 සහ 1987 ගිවිසුමට හපන් ගිවිසුමක් මේ අත්සන් කරලා තියෙන්නේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, අදාල අමාත්‍යවරයා වන ගම්මන්පිලත් දිගින් දිගටම මේ ගැන බොරු කිවුවා. ජනතාවට තොරතුරු දීලා නැහැ. ගම්මන්පිල අර ගෙම්බෙක් වගේ බක බක ගාන ටික විතරයි ජනතාවට පෙන්නලා තියෙන්නේ. 

අපිට සැලකිවයුතු මට්ටමේ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා, ඊයේ රෑ නීති විරෝධී ලෙස අත්සන් කරලා තියෙනවා කියලා බදු ගිවිසුම. මේකට අදාල බදු ගිවිසුමක් අත්සන් කරනවා නම්, විශේෂයෙන්ම මේ ඉඩමට අදාල බදු ගිවිසුමක් අත්සන් කරනවා නම් නැගෙනහිර පලාතේ ආන්ඩුකාරවරිය ඒ ගිවිසුමට අත්සන් තැබිය යුතුයි.  දැනට අපි දන්න තොරතුරු වලට අනුව නැගෙනහිර පලාතේ ආන්ඩුකාරවරිය එවැනි ගිවිසුමකට අත්සනක් තබලා නැහැ. ඊයේ රෑ බදුගිවිසුමක් අත්සන් කළා නම්, ආන්ඩුකාරවරියගේ අත්සන රහිතව, නීත්‍යානුකූල නොවන අවලංගු ගිවිසුමක් තමයි අත්සන් කරලා තියෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?