Latestදේශීය

පාස්කු ප්‍රහාරයට රජයෙන් සාධාරණයක් නැහැ. අපි ජාත්‍යන්තරයේ සහය ගන්නවා – කාදිනල් හිමි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෙන්ම බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධියේ වින්දිතයන්ට ද යුක්තිය ඉටු විය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දී කාදිනල් හිමිපානන් මේ බව පැවසුවා.

බොරැල්ල අත් බෝම්බ සිද්ධියේ දී ආන්ඩුව සහ පොලීසිය එක්ව නාට්‍යයක් රඟ දක්වන බව පෙනෙන්නට ඇති බව පැවසූ කාදිනල් හිමිපානන් මෙම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බවත් පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් පැවසුවා.

එම සූම් සම්මන්ත්‍රණයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපානන්,  

අනිත් එක අර ‘මුනි’ කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක දාලා අත හෝදගන්න පොලිසිය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බැහැ, සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට. ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ ආණ්ඩුවටවත් පොලිසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාස යි. ඒ නිසා මේ කාරණාව උසාවියේදී, මේ කරපු වැරැද්ද හරිගස්සන්න.

ඒ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. මොකද පොලිසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා කෙලින්ම පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා. අනිත් එක මේක විතරක් නෙමෙයි අර කොහෙද ඉස්පිරිතාලේ තියාපු බෝම්බෙත් මේ මනුස්සයාගේ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා මේ පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා, ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ ඒ අනෙක් තුන්දෙනාටම වෙච්ච අසාධාරණය ගැන අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”

තවද මේ මස අවසන් වන විට තමන් හා සම්බන්ධව කටයුතු කරන තිදෙනෙකුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබෙන බවත් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකර ගැනීම සදහා එම අවස්ථාව ලැබෙන බවත්  වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට එය මහත් රුකුලක් වනු ඇති බවත් මෙම සම්මන්ත්‍රණයේදී කාදිනල් හිමිපානන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?