Latestදේශීය

රුසියානු සබදතා නැවත ගොඩනගා ගන්න රජය පියවර ගෙන නැහැ – වසන්ත බන්ඩාර

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

පළුදු වූ රුසියානු – ශ‍්‍රී ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා නැවත වර්ධනය කරගැනීම සඳහා නිසි පියවර නොගැනීම පිළිබඳව

අධිකරණ නියෝගයක් අත්තනෝමතික ලෙස ක‍්‍රියාත්මක කිරීම මගින් රුසියානු ගුවන් යානයක් මගීන් සමග රඳවා ගැනීම නිසා පැන නැගුණු රුසියානු – ශ‍්‍රී ලංකා රාජ්‍යතාන්ත‍්‍රික අර්බුදය සමනය කිරීම සඳහා මේ වන තුරු නිසි පියවර නොගැනීම නිසා ශ‍්‍රී ලංකාවට බරපතළ වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බව ඉතා පැහැදිලි ව දක්නට ඇත. මේ වන විට ගුවන් යානය නිදහස් කර තිබීම සහ රුසියානු ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවට නැවත ගමන් ආරම්භ කිරීම පිළිබඳව යම් නම්‍යශීලීත්වයක් පෙන්වීම මගින් අර්බුදය සමනය වූ බවට උපකල්පනය කළ නොහැක. විශේෂයෙන්ම මෙම අර්බුදයේදී ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය ක‍්‍රියාත්මක වූ ආකාරය මගින් රුසියාව වැනි සැම විටම කොන්දේසි විරහිතව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින මිත‍්‍රයෙකු පිළිබඳව දක්වන සැලකිල්ලේ තරම පිළිබිඹු වෙයි.

යම් නිලධාරීන් සහ බලධාරීන් උද්දච්ච මනසින් ක‍්‍රියා කිරීම මගින් ගතවන සෑම දිනක්ම ශ‍්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බව ඔබතුමා පිලිගන්නවා ඇත. යම් ආකාරයකට ශ‍්‍රී ලංකාව මිත‍්‍ර නොවන රටක් ලෙස හැඳින්වීමට රුසියාව ක‍්‍රියා කළහොත් ශ‍්‍රී ලංකාවට ගෙවීමට සිදුවන වන්දිය රාජ්‍යතාන්ත‍්‍රික වරදකට අදාළව ඉතිහාසයෙදි ගෙවීමට සිදුවූ විශාලතම වන්දිය වන බවට කිසිදු සැකයක් නැත. මීට පෙර රුසියාවේ ගෞරවනීය නායකයෙකු වූ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට නිසි ගෞරවය ලබා නොදීමට අමතරව ශ‍්‍රී ලංකාවේ ඛණිජ තෙල් පිරිපහදුව නවීකරණය කර පුළුල් කිරීම සහ ඒ සඳහා රුසියානු බොරතෙල් භාවිතා කිරීම සඳහා මෙන්ම න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා නොසලකා හැරීම මගින් රුසියාව පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ආකල්පය ඉතා හොඳින් පිළිබිඹු වේ. වෙනත් රාජ්‍යවල බලපෑම මත ඒ ආකාරයට ක‍්‍රියාකළා විය හැකි වුවද වන්දිය ගෙවීමට සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට සහ ජනතාවටය.

එම නිසා දැනටමත් පමා වී ඇතත් මේ මොහොතේ හෝ කඩිනමින් පහත සඳහන් පියවර ගැනීම මගින් තත්ත්වය සමනය කර ගැනීමට ක‍්‍රියා කරන ලෙස ජාතික සංවිධාන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

  1. ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් රුසියානු ජනාධිපතිවරයාට, රුසියානු ජනතාව මෙන්ම ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප‍්‍රකාශ කිරීම.
  2. දැනට සේවය අත්හිටුවා ඇති පිස්කල් නිලධාරියා වහාම අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කිරීම.
  3. ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහලම නිලධාරීන් තිදෙනෙකු විසින් අධිකරණයෙන් ලබාදුන් නියෝගය වැරදි ආකාරයට නිර්වචනය කිරීම මගින් ගනු ලැබු අපරීක්ෂාකාරී තීන්දුව සහ ඊට අදාළ පසුබිම පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු යටතේ කමිටුවක් පත් කිරීම.
  4. ගුවන් මගින් රදවා ගැනීම මගින් රුසියානු ගුවන් සේවයට දැරීමට සිදු වූ පාඩුව ශ‍්‍රී ලංකාවේ රජය විසින් ප‍්‍රතිපූර්ණය කරන බව ප‍්‍රකාශ කිරීම.
  5. අනාගතයේ දී එවැනි අපරික්ෂාකාරී ක‍්‍රියා වලට ඉඩ නොතබන බවට සියලූම ගුවන් සමාගම් වලට සහතිකයක් ලබා දීම සහ එවැනි අවස්ථාවකදී තීන්දු ගැනීම සඳහා විධිමත් යාන්ත‍්‍රනයක් හඳුන්වාදීම සහ එම යාන්ත‍්‍රණය ගුවන්තොටුපල පරිපාලන සංග‍්‍රහයට ඇතුල් කිරීම.

කේ.එම්. වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?