Latestදේශීය

අරගලකරුවන්ට කල් ඉකුත් වූ කදුළු ගෑස් එල්ල කළ බව ශ්‍රී ලංකා පොලීසිය පිලිගනී

කල් ඉකුත්වූ කදුළු ගෑස් යොදා ගනිමින් අරගලකරුවන් විසුරුවා හැරීම සදහා කටයුතු කළ බව පොලීසිය පිළිගත්තා. ඒ තොරතුරු දැනගැනීමේ කොමිසම හමුවේ පැවති අභියාචන විභාගය (01) අතරතුරදීය.

මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පත්‍රයකට පොලීසිය තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුනු අතර ඒ හේතුවෙන් මෙම අභියාචනය කැදවා තිබුනා.

මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතා විසින් ඉල්ලා ඇති තොරතුරු ලබා දීමට පොලීසිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොමිසම අවධාරණය කළේ ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාල මෙම තොරතුරු නොදීම හේතුවෙන් පොලීසියට එරෙහිව නඩු පැවරීමට පවා සිදුවන බවයි.

මෙම විභාගය කැදවූයේ තොරතුරු දැනගැනීමේ කොම්ෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ ජගත් ලියනආරච්චි සහ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන යන මහත්ම මහත්මින් ඉදිරිපිටදීය.

මෙහිදී පොලීසිය වෙනුවෙන් පොලිස් සැපයුම් කොට්ඨාශය, පොලිස් නීති කොට්ඨාශය සහ පොලිස් මානව හිමිකම් කොට්ඨාශය නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් සහභාගි වුනා.

මෙම විභාගය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ලිඛිතව දැනුම් දී තිබුනේ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, කල් ඉකුත් වූ කදුළුගෑස් එල්ල කිරීම සහ එලෙස එල්ල කිරීමට අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න ආදී තොරතුරු ඉදිරිපත් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බැවින් එම තොරතුරු මුදාහැරිය නොහැකි බවයි.

නමුත් එම තොරතුරු ඉදිරිපත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කරන ලෙස කොමිසම විසින් පොලීසියට පැවසූ විට ඒ පිළිබදව කරුණු දැක්වීමට පොලීසිය අපොහොසත් වුනා.

මෙහිදී 2010 වසරේ සිට 2022 වසර දක්වා කදුළුගෑස් මිළදී ගැනීමට අදාල ටෙන්ඩර් ලියවිලි ලබා දෙන ලෙස කළ ඉල්ලීමට පිළිතුරු ලෙස පොලීසිය ලිඛිතව කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ නඩු කටයුතු වලට අදාල නොවන ලේඛන විනාශ කිරීමට වසර 5න් 5ට කටයුතු කරන බැවින් එම තොරතුරු ලබා දිය‌ නොහැකි බවයි. එයට පිළිතුරු ලෙස මාධ්‍යවේදී තරිදු ජයවර්ධන‌ මහතාගේ පාර්ෂවය කරුණු දක්වමින් පැවසුවේ එම පිළිතුර සත්‍යනම් ගෙවුනු වසර 5 තුළ කදුළු ගෑස් මිළදීගෙන නොමැති බවත් එසේනම් පොලීසිය එල්ලකර ඇත්තේ වසර 5කට පෙර මිළදී ගත් කදුළුගෑස් බවත්ය.

මෙහිදී කොමිසම විසින් පොලීසියට පෙන්වා දුන්නේ තොරතුරු පනතට අනුව වසර 12ක් දක්වා තොරතුරු ආරක්ෂා කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසියෙන්ම චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, එවන් පසුබිමක තොරතුරු විනාශ කළ බව පොලීසිය පවසන්නේ නම් තොරතුරු පනත උල්ලංඝණය කිරීම ගැන පරීක්ෂණයක් පැවැත්විමට සිදුවන බවත්ය. මෙම පරීක්ෂණයට අදාලව වසර 2ක් දක්වා සිර දඩුවම් ලබා දීමට පනතට හැකියාව ඇති බවත් මෙහිදී කොමිසම පොලීසියට දන්වා සිටියා.

ලබන 10 වනදාට පෙර මේ සම්බන්ධයෙන් ලිඛිත කරුණු දැක්වීමක් සිදු කරන ලෙස කොමිසම විසින් පොලීසියට දැනුම් දුන් අතර අභියාචනා විභාගය ලබන 14වනදා නැවත කැදවීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?