Latestදේශීය

මහබැංකුව නිර්දේශපාලනිකරණය ‌නොකළොත්, චීනය ණය ප්‍රතිව්‍යූහගත නොකළොත් IMF ණය දෙන්නේ නෑ. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි.- IMF BBCයට කියයි..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට විසදුමක් ලෙස ලබාදීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබාදීමට පෙර මහබැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන ලෙසත් රටේ උද්ධමනයට හේතු වූ මුදල් මුද්‍රණය නතර කිරීමට හැකි නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලයි.

“ශ්‍රී ලංකාවේ මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව මහ බැංකු පනත හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්,” ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් බීබීසීය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

“මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ උද්ධමනයක් පවතිනවා. එක් අතකින් සිදුවෙලා තියෙන්නේ විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් විදිහට. නමුත් රජයට ආදායම් නොමැති විට කවුරුවත් රජයට ණය නොදෙන තත්ත්වයක් මත රජයට මුදල් සැපයීම සඳහා මහ බැංකුවේ මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය වැඩිවීමට තවත් ප්‍රධාන හේතුවක්.”

“මහ බැංකුවේ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ අනවශ්‍ය මුදල් මුද්‍රණය නොවීමට වගබලා ගැනීම සඳහා මෙම නව පනත ඉතා වැදගත් වෙයි.”

“මොකද මූලික වශයෙන් උද්ධමනය කියන්නේ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි සෑම කෙනෙකුටම පනවනු ලබන බද්දක්. එයට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය හැකියාවන් නැහැ . ඒ නිසා මහ බැංකුවේ නිසි ස්වාධීනත්වය සහතික කරන මේ මහ බැංකු පනත ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත් අංගයක් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.”

ශ්‍රී ලංකාවට මෙම ණය මුදලේ පළමු වාරිකය ලැබීමට කොපමණ කාලයක් ගතවේද යන්න ගැන නැඟූ පැනයට ඔහු පැවසුවේ මාණ්ඩලික මට්ටමේ එකඟතාව සහ වැඩසටහන ක්‍රියාවට නැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට යෝජනා කිරීම යන කාරණය අතර තවත් කාරණා ගණනාවක් සිදු විය යුතු බවයි.

“දැනටමත් ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා බලධාරීන් සමඟ එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. උදාහරණයක් ලෙස, 2023 අයවැය අප සමඟ එකඟ වී ඇති සාර්ව ආර්ථික රාමුවට සහ වැඩසටහනට අනුකූල වන ආකාරයට ඉදිරිපත් කිරීම. බලධාරීන් විසින් ගනු ලැබිය යුතු මෙවැනි ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා.”

“ඒ අතරම අනෙක් කාරණය, ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීම සඳහා අවශ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සහතිකය, මූල්‍ය සහතිකය ලෙස අපි හඳුන්වන එම සහතිකය ලබාදීම,” ඔහු පැවසීය.

“මෙම මූල්‍ය සහතික කිරීම් ශ්‍රී ලංකාව සහ එහි ණය හිමියන් අතර ඇති කර ගන්නා එකඟතාවයක ප්‍රතිඵලයක් වනු ඇත. මෙම ක්‍රියාවලියට කොයිතරම් කාලයක් ගතවේදැයි අපි දන්නේ නෑ. මෙම ක්‍රියාවලියේ කාලය අවම කිරීම සඳහා සහයෝගයෙන් සහ විනිවිදභාවයෙන් වැඩ කිරීමට අපි සියලු දෙනා දිරිමත් කරනවා.”

“එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හැකි ඉක්මනින් ආරම්භ කිරීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ඉදිරියට ගෙන යාමටත් හැකි වන අතර, ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ හැකියාව නැවත ලබා ගැනීමට උපකාරී වනු ඇත. එය ණයහිමියන්ගේත් අවශ්‍යතාවයයි.”

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසුවේ චීනය හෝ යම් ණය හිමියෙකු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුනහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරිමක් මඟින් බලාපොරොත්තු වන්නේ දේශීය ආර්ථිකය ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීම මිස දේශීය ආර්ථිකයට හානියක් ඇති කිරීම නොවන බව පීටර් බෲවර් පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දේශීය රුපියල් ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට නිර්දේශ කරන්නේ දැයි බීබීසීය ඇසු පැනයට පිළිතුරු වශයෙනි.

– BBC

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?