Latestදේශීය

බලය බෙදිය යුතුයි – ප්‍රසන්න රණතුංග

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය  බලය බෙදීය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ග්‍රාමිය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් අමාත්‍යතුමාගේ ආරාධනය පරිදි මන්නාරම, එරුකලම්පිට්ටි ”Zakath Kuwait” ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

මෙම උත්සවය මන්නාරම එරුකලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී  (06) දින පැවැත්වුණි. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිවාසලාභින්ට හිමිකම් ඔප්පු ප්‍රදානය කරන ලදි.

රාජ්‍ය නොවන සංවිධානයක් වන ඉස්ලාමීය සහන කමිටුවේ (ISRC) මූල්‍ය ආධාර මත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 105 කි. පළමු අදියර යටතේ මෙම ගම්මානයේ  විවෘත කළ නිවාස සංඛ්‍යාව 75 කි. මෙහි එක් පවුලක් සඳහා පර්චස් 10 ක් ලබා දී ඇත. එක් නිවසක් ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 12.5 කි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මෙම ගම්මානය සඳහා විදුලිය ලබා දීමට රුපියල් මිලියන 2.7 ක මුදලක් ලබා දීමට නියමිතය. මෙම ගම්මානයේ නිවාස අයිතිය හිමිවූවන් සියළුදෙනාම යුද්ධයෙන් අවතැන් වූ ජනතාවයි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වනවිට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් සිදු කරයි. මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවාස මෙම සම්බන්ධිකරණ කටයුතු සිදු කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා,
“2018 වසරේ සිට රජයේ අනුග්‍රහය යටතේ ලබා දුන් මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස ආධාර වැඩසටහනේ පවුල් 2,190 කට ආධාර ලැබිය යුතු බව දිසාපතිතුමිය කියා සිටියා. මේ පවතින ආර්ථික අර්බුදය තුළ වුවද මෙම පවුල් 2,190 ඉදිරියේදී ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. සැලසුමක් නැතිව පසුගිය රජයන් විසින් සැලසුමක් නොමැතිව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළ නිසයි මේ ගැටළුව මතුවී තිබෙන්නේ.

කුමන ඇමති ආරම්භ කළත් කුමන රජයක් ආරම්භ කළත් අපි මේ වියදම් කරන්නේ ජනතාවගේ මුදල්. ජනතාව කඩේට ගිහින් ගන්න පරිප්පු, සීනි, හාල් වලින් එකතු වෙන බදු මුදල තමයි රජයට ලැබිලා රජය වියදම් කරන්නේ. මේ වියදම් කරන මුදල්වල ප්‍රතිපල ජනතාවට ලබා දෙනවා වගේම ඒ මුදල් නාස්ති නොකළ යුතුයි. 2017 ආරම්භ කරලා භාගෙට ඉදිකරලා තිබෙන ගොඩනැගිල්ලක් අවුරුදු 05 යනවිට දිරා පත්වෙනවා. ඒ මුදල් අපතේ යනවා. ඒ ව්‍යාපෘති සැලසුම් කරන අයගේත් ක්‍රියාත්මක කරන අයගේත් වගකීමක් තමයි ජනතා මුදල් අපතේ නොයා කටයුතු කිරීම. මේ දිස්ත්‍රික්කයේ ජනතාව අවශ්‍යතාවයන් ඉටු කරන්න රජයක් ලෙස සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. සිංහල, දෙමළ මුස්ලිම් අපි එකට ජීවත් වන ජනතාවක්. පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ලෙස කටයුතු කරද්දි සියළු ජාතීන්වල ජනතාව එකතු කර ගෙන වැඩසටහන් රැසක් කළා. පරිපාලන බලය බෙදී යාම තුළින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ගැටළු විසදීමට පුළුවන්. එහෙම වුනොත් තමයි ඒකීය රටක් ලෙස ආර්ථික දේශපාලන අතින් ඉදිරියට යාමක් දක්නට ලැබෙන්නේ. අන්තවාදීන් අපිව වෙන් කරන්න හදනවා. අපි බුද්ධිමත්ව කටයුතු කළොත් එය සාර්ථක වෙන්නේ නෑ.

මෙම අවස්ථාවට ග්‍රාමිය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල්, මන්නාරාම ප්‍රාදේශීය ලේකම් මනකරන් ප්‍රතීප්, මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති එම්.අයි. ඉස්සඩීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?