Latestදේශීය

අපි වෙනසට මුල පුරලයි තියෙන්නේ, ඒකයි රනිල් එක්ක එකතු වුනේ – ප්‍රසන්න රණතුංග

රටේ සියල්ලන්ම “සිස්ටම් චේන්ජ්” එකක් ගැන කතා කලද “සිස්ටම් චේන්ජ්” එකේ බල පෙරලිය සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේ වුවද අරගලකරුවන් “සිස්ටම් චේන්ජ්” කිරීමට උත්සහා කළේ මිනීමැරුම්, ගිනි තැබීම් සිදු කිරීමෙන් බවයි (19) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේය.

දේශපාලන ප්‍රතිවාදීයා සමඟ එක⁣ට වැඩ කරන්න පුළුවන් “සිස්ටම් චේන්ජ්” එකක් අද වනවිට නිර්මාණය කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය,

“අද අපි වෙනසට මුල පුරලයි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ අපේ දේශපාලන ප්‍රතිවාදියෙක්. අපි දේශපාලනය කළේ කඳවුරු 02ක. අපේ දේශපාලන මතවාද එකට ගැලපුණේ නැහැ. නමුත් අපි එතුමා සමඟ ජාතික වැඩපිළිවෙලකට එකඟ වෙලා තිබෙනවා. අපි දේශපාලන කැපකිරීමක් කරලා තියෙන්නේ.

මේ විවාදය පුරාම විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ අපෙන් ප්‍රශ්න කළේ රෙදි ඇඳගෙන ද රනිල් එක්ක ඉන්නේ කියලා. රෙදි ඇඳගෙන ද නැද්ද කියන එක නෙවේ ගැටලුව මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි මොනවාද කළ යුතු කැපකිරීම් කියලයි. ඒ සඳහා ඕනම කැපකිරීමක් කරන්න අපි සූදානම්. අද කිව්වොත් ඇමතිකම්වලින් අයින් වෙන්න කියලා ඇමති ධූරවලින් ඉවත් වෙන්න අපි සූදානම්. හැබැයි කවුරුහරි මේ වගකීම භාර ගන්න ඕන.

දේශපාලනඥයන් වන අපි කරන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ අපි නෙවෙයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ බහුතරයක් බුද්ධිමත් උපාධිධාරින්. මහබැංකුවේ ඉහළම නිලධාරින් ආචාර්ය උපාධිලාභින්. මේ බුද්ධිමතුන් වැඩ කළා නම් ආර්ථිකය මේ තත්ත්වයට පත් වෙන්න හැකියාවක් නැහැ.

මේ බුද්ධිමත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනඥයන් බලපෑම් කරනවා නම් වෙනස් කරන්න ඕනෑ ඒ බලපෑම් කරන System එක. ඒ සඳහා තමයි 22 වන ව්‍යවස්ථා සං‍ශෝධනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වගකියන මුදල් කමිටු පත් කළේ. අක්‍රීය වෙලා තිබුණු ආංශික කාරක සභා නැවත ක්‍රියාත්මක කළේ.” යනුවෙන්ද පැවසීය.

– ප්‍රදීප් අනුර කුමාර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?