Latestදේශීය

ජනතාවගේ ආරථික යුක්තිය නොසලකා හරින අයවැය මෙන්ම දූෂිත ක්‍රමය ද පරාජය කළ යුතුයි – මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. වත්මන් රජයේ අයවැය සම්බන්ධයෙන් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ අදහස් දැක්වීමටයි මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනේ. මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ නිල අදහස පහතින්,

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද 2023 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව මහජන කවුන්සිලය සඳහා වූ ව්‍යාපාරයෙහි පැහැදිලි කිරීම.

පසුගිය දශක හතර පුරාවට මෙරට පවත්වාගෙන යන ලද නව ලිබරල් ආර්ථිකය මූලෝපායන් හේතුකොටගෙන මේ වන විට සමස්ත සමාජයම බරපතළ ආර්ථික අර්බුදයකට පියමං කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ජනතාව තමුන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට පවා නොහැකි තත්ත්වයට පත්ව සිටි. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස මෙරට මහජන අරගලය පසුගිය අප්‍රේල් මාසයේ සිට  දියත් වන ලද අතර එකී අරගලයේ අරමුණු කැටි කරගනිමින් ඉදිරිපත්වූ වැඩපිළිවෙළ හරහා මේ සමස්ත නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ සහ ඊට බද්ධ වූ දේශපාලන ප්‍රතිපත්ති ආපසු හැරවීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන යෝජනා ගණනාවක් එළිදක්වන ලදී.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වූ පළමු හෝරාවේ සිටම එකී මහජන අරගලය සන්නද්ධ  බලය හරහා මර්ධනය කිරීමට පියවර ගන්නා ලද අතර එහි දෙවැනි පියවර ලෙස මෙවර ඉදිරිපත් කරන්න අයවැය මගින් අරගලය විසින් ආපසු හැරවීමට යෝජනා කරන ලද නව ලිබරල් ආර්ථිකය සහාසික ලෙස ශක්තිමත් කිරීමට යෝජනා කරයි. ඒ සඳහා මහ ජනතාවගේ සුබසාධනය කප්පාදු කරමින් බදු බර ජනතාවට පටවමින් මහජන සම්පත් විකුණමින් සහ තව තවත් රට ණය උගුලේ හසුකරමින් අර්බුධය තීවෘර කිරීමේ දිශාවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යමින් සිටී.අයවැය විවාදයේ දී හිට්ලර් පන්නයේ ෆැසිස්ට් ප්‍රකාශ කරමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් වලට තර්ජනය කරමින් සිය නොහැකියාව යටපත් කිරීමට රනිල් වික්‍රමසිංහ දරන උත්සාහයම එළඹීමට නියමිත ජනතා විරෝධී යුගය පිළිබඳව අපට පුරෝකථනයක් ලබාදෙනු ලබයි.

ඒ අනුව අයවැය යෝජනා වල  ඉහත සදහන් ප්‍රවේශයට අදාල ජනතා විරෝධී පියවරයන් පිලිබදව දළ අදහසක් පහත යෝජනා හරහා  ලබාගත හැක.

බහුජාතික සමාගම් සහ ආයෝජකයින්ට බදු සහන ලබා දීම සහ විශේෂයෙන්ම නව නීති හරහා ඔවුන්ට මෙරට ව්‍යාපාර සිදු කිරීම සඳහා ලිහිල් තත්වයන් නිර්මාණය කිරීමට යෝජනා කරන අතර මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කර්මාන්ත කරුවන් ප්‍රවර්ධනයට සහ ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ග යෝජනා නොකරමින් තව

තවත් එම ව්‍යාපාරිකයන් බදු බරින් සහ විදුලිය ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය ගාස්තු ඉහල නැංවීම හරහා  පීඩාවට පත් කිරීමට යෝජනා කරයි

 නිදහස් වෙළඳ ගිවිසුම් හරහා තව තවත් දේශීය කර්මාන්ත බිඳ වට්ටන යෝජනා ඇතුලත්ව ඇති අතර අය වැයෙහි සැබෑ අරමුණ ලෙස මෙරට දේශීය සම්පත් සහ ව්‍යවසාය බහුජාතික සමාගම් සහ විදේශයන්ට විකිණීම සඳහා වූ ආර්ථික  උපාය බරපතල ලෙස ප්‍රදර්ශනය කරන අයවැයක් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම යෝජනා කරන කම්කරු නීති වෙනස් කිරීමට අයවැය විසින් යෝජනා කරන අතර ඒ හරහා මෙරට කම්කරුවන්ට ඉතුරු වී ඇති  ඉතා අවම ප්‍රමාණයක් වූ අයිතිවාසිකම්ද අහෝසි කොට එම කම්කරුවන් දැඩි සූරාකෑමකට ලක් කිරීමටත් යෝජනා කරයි.

රජයේ ඉඩම් බැහැර කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදීම හරහා ගොවියන්ට ගොවිතැන සඳහා ඉඩම් ලබා දෙනවා වෙනුවට එකී ඉඩම් බහු ජාතික සමාගම් සහ මහා පරිමාණ ආයෝජකයන් වෙත ලබාදීම සඳහා පිඹුරුපත් සකස් කරන යෝජනා ඇතුළත්ව ඇත.ඒ හරහා වන රක්ෂිතයන් වාණිජ අරමුණු වලට මුදාහැරීමට අරමුණු කරගෙන ඇති අතර දැවැන්ත පරිසර හානියක් නිර්මාණය කරනු ඇත.

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම නැමැති වචනයට මුවා වෙමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,හිල්ටන්  හෝටලය වැනි ලාභ ලබන ආයතන පවා සියල්ල විකුණා දැමීම සඳහා පිඹුරුපත් සකසන අයවැයක් වේ.ඒ අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන එලෙස පාඩු ලබන තත්ත්වයට පත් කළ දේශපාලන තීරණ මොනවාද ඒවාට වගකිව යුත්තන් කවරෙක් ද යන්න සොයා බලා ඊට විසඳුම් දීම වෙනුවට එය භාවිතා කොට ඉතිරිව ඇති මහජන සම්පත් පවා කුණුකොල්ලෙට විකිණීම සඳහා මෙම අයවැය යෝජනා කරනු ලබයි.

අධ්‍යාපනය ,සෞඛ්‍ය වැනි සේවාවන් පෞද්ගලීකරණය කිරීම සඳහා වූ යෝජනාවන් එක් පසකින් මෙම අයවැයට ඇතුළත්ව ඇති අතර අනෙක් පසින් අධ්‍යාපනයේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය වැනි පවත්නා පාසල් පද්ධතියේ අසමානතාවයන් හේතුවෙන් නිර්මාණය කොට ඇති විසඳුම් පවා අහෝසි කොට අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කොට ඒ හරහා පෞද්ගලීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා කරයි.

ජීවන වියදම ඉහළ යාම සඳහා ප්‍රමුඛතම හේතුව වූ ඉන්දන, විදුලිය සදහා ජනතාවට දරන්න වන පිරිවැයට පහල දමනු වෙනුවට ඒවාට ලබාදෙන සහන ඉවත් කොට තව තවත් ජනතාව ආර්ථික අර්බුදයට ඇද දැමීමේ යෝජනා අයවැයට ඇතුළත් කොට ඇත

ඒ අනුව මහජන කවුන්සිලයක් සඳහා වූ ව්‍යාපාරය විසින් දිගින් දිගටම සමස්ත මහජනතාවගේ ඉල්ලීම් සහ ආර්ථික යුක්තිය නොසලකා හරිමින් පවත්වාගෙන යනු ලබන පාලනයන්ට විරුද්ධව ඇත්ත ජනතා බලයක් ස්ථාපනය කොට මෙම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සහ මර්දනකාරී දේශපාලන ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා අවශ්‍ය පුළුල් බහුජන ව්‍යාපාරක අවශ්‍යතාවය නැවත නැවතත් අවධාරණය කර සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?