Latestදේශීය

මිය යන්නේද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙසයි – චන්ද්‍රිකා බන්ඩාරනායක

තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට හෝ එක්වන බවට පලවන කටකතා සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රචාරණයන් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය මෙම අදහස් ඉදිරිපත් කළා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනයයි.

මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි.

මා දේශපාලනික ව ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය.
හැදී වැඩුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය.
විවිධ පහර කෑම්වලට ලක් වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙනි.
අවසානයේ මා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙසිනි.

විවිධ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ.

ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය අගය කරන, පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරන මම, ඒ දර්ශනය පිළිගෙන ඊට අනුගත දේශපාලනයක නියුතු වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වෙමි.

මේ මොහොතේ අප දේශය මුහුණු දෙන ජාතික අර්බුද දෙකක් වන රටේ පවතින ළමා මන්දපෝෂණ තත්ත්වය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබා දීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට මාගේ උපදෙස් ලබා දෙමි.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් විසින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩ ව කැපවන බව අවධාරණය කරමි.


Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?