Latestදේශීය

අයවැය තෙවනවර කියවීම අද

2023 වසරේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 05ට  බවයි. එහිදී මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශ වලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් මස 14 වනදා මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වූ අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වන දින පස්වරුවේ පැවැත්විය. ඊට මන්ත්‍රීවරු 121දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 84දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

අයවැය දෙවනවර කියවිම වැඩි ඡන්ද 37කින් සම්මත විය.

අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේ සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු වන අතර දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳීසිටියේ නැහැ.

අයවැය තෙවනවර ඡන්ද විමසීමේ දී ද ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කර ඇත්තේ. ජාතික නිදහස් සභාව ද අද දිනයේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය දින 13ක කාලයක් පැවැත්වීමෙන් පසුවයි  අද දිනයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?