Latestදේශීය

බේරුවල රෝහලේ තට්ටු 09යේ ගොඩනැගිල්ල වෙනුවෙන් මහජන කවුන්සිලය මහපාරට

කළුතර මහජන කවුන්සිලය ඊයේ (20) පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළා. ඒ බේරුවල මූළික රෝහලේ තට්ටු 09 ගොඩනැගිල්ල ඉදිකිරීම වහා අරඹන ලෙස ආන්ඩුවට බලකරමින්.

2018 වසරේදී පැවති යහපාලන රජයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූළිකත්වයෙන් නව ගොඩනැලිල්ල සදහා මුල්ගල තැබූ අතර එහි ඇස්තමේන්තු පිරිවැය රුපියල් කෝටි 381කි. ඇස්තමේන්තු කාලය මාස 30ක් වන අතර මුල්ගල තැබූ දින සිට මේ දක්වා වසර 4කට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති බැවින් මේ වන විටත් එම තට්ටු 09යේ ගොඩනැගි්ල්ල ඉදිකර අවසන්ව තිබිය යුතු බවයි කළුතර මහජන කවුන්සිලය පවසන්නේ.

එම නව ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එවකට පැවති බාහිර ප්‍රතිකාර අංශය සහ ළමා වාට්ටුව සහිත ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා පොළොවටම සමතලා කර ඇති අතර මේ වන විට තිබුනු ගොඩනැගිල්ල හෝ ඉදිකිරීමට එකගවූ නව ගොඩනැගිල්ල නොමැති කමින් රෝගීන් මහත් පීඩාවට පත්ව ඇති බැවින් වහාම මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ආන්ඩුව ක්‍රියාකළ යුතු බව කළුතර මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ කැදවුම්කරු ආනන්ද වීරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.  

තවද රුපියල් කෝටි 33ක් වැයකර පොළොවට කොන්ක්‍රීට් ෆයිල් බස්සවා ඇති නමුත් මේ වන විට එම ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බැවින් වහාම එම ඉදිකිරීම් ආරම්භ කර කළුතර දිස්ත්‍රික්කයට අත්‍යාවශ්‍ය රෝහලක් වන බේරුවල රෝහලේ තට්ටු 09යේ ගොඩනැගිල්ල ලබා ගැනීම සදහා මහජනතාව සමග එක්වී දැවැන්ත ක්‍රියාමාර්ගයක් දියත් කරන බව වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?