දේශීය

දැඩි ආරක්ෂාව මැද නිදහස් උත්සවය පැවැත්වීමට හේතු වු අන්තරේ ප්‍රමුඛ දිවයින පුරා පැවති විරෝධතා

“නිදහස වෙනුවෙන් ,අඛණ්ඩ අරගලයේ ” විරෝධතාව අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සමිති සහභාගීත්වයෙන්  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (04) පැවැත්වුණා.

ඒ මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබු පසුබිමකයි.

පොලිසියේ ඉල්ලිමක් මත අදාළ නියෝගය නිකුත් කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙතයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අවට 1500 ට අධික පොලිස් බල ඇණියක් යොදවා තිබුණු අතර විරෝධතාකරුවන් අධිකරණ නියෝගය සැලකිල්ලට ගනිමින් උපක්‍රමශ්‍රිලිව විරෝධතාවය ක්‍රියාත්මක කිරීම කැපි පෙණුනා.

ජීවන බර දරන්න බෑ ! විදුලිය-තෙල්-ගෑස් මිල පහත හෙලනු ! ජීවත් වෙන්න ඉඩ දියව් ! බදු බර-බඩු මිල පහත හෙලනු !

ත්‍රස්ත පනත (PTA)අහෝසි කරනු ! ශිෂ්‍ය නායක දඩයම නවතනු ! ආදී සටන්පාඨ සමඟින් මහ වැසි මැද ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාලාපයට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක වුණා.

මීට අමතරව නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයකදී ඊයේ (04) විරෝධතා පැවැත්වුණා. යාපනය දිස්ත්‍රික්කයේ වෙළඳසැල් වසා දමා ව්‍යාපාරිකයින් හර්තාල් ව්‍යාපාරයක් දියත්කල අතර ඊට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලයේද කළු කොඩි ඔසවා විරෝධය පලකර තිබුණා.

එමෙන්ම යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් එක්ව ජනතා ගැටලු වලට විසදුම් ලබාදෙන ලෙසට බල කරමින්  විරෝධතා පාගමනක් ද දියත්කලා.

මේ අතර 75වන ජාතික නිදහස් සැමරුමට විරෝධය පළ කරමින් බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටදී ද ඊයේ (04) විරෝධතාවක් පැවැත්වුණා. අලුත් පියාපත් සංවිධානය විසින් සංවිධාන කර තිබු එම විරෝධතාව නව නිදහස් අරගලයක් ලෙසයි නම් කර තිබුණා.

කතෝලික පියන්තුමන්ලා , මීසම් පාලකවරු , කන්‍යා සොයුරියන් ඇතුළු පිරිසක්ද මරදාන ප්‍රදේශයේදී නිදහස් දින සැමරුමට එරෙහිව විරෝධතාවක නියලුනා.

මේ අතර ගොල්ෆෙස් අරගලකරුවන් කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය  ජල හා කඳුලු ගෑස් ප්‍රහාර හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියාකල අතර සත්‍යග්‍රහයේ නිරත වී සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් පුද්ගලියන් සිව් දෙනාට අද (05) අධිකරණය ඇප ලබාදුන්නා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?