Latestදේශීය

හිට්ලර් හමුවේ නිමොලර් මෙන් නොවන්න – මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි

ඡන්දය කල් දැමීම උදෙසා ආණ්ඩුව තිබෙනවාටත් වඩා වැඩි මුදල් අර්බුදයක් පෙන්වීමට උත්සාහ කරමින් සිටින බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ට් අවධාරණය කරයි.

මහාචාර්යවරයා මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (15) බද්දේගමදී පැවති මාලිමාවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිණි.

එහදී මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ට් වැඩිදුරටත් දැක්වූ අදහස්,

“මේ පොළොවේ සාරයෙන්, මේ රටේ ජනතාවගේ දුක් කඳුළු දහදියවලින්, තමයි අපි නිදහස් අධ්‍යාපනයේ ඵල ලබලා මෙතනට ඇවිත් තියෙන්නේ. මේ රට ගැන අපට තිබෙන සංවේදනය ප්‍රකාශ කිරීම අපේ වගකීමක්. වසර ගණනාවක් තිස්සේ අපි කතිර ගැහුවා. පාට මාරු කළා. ඔළුගෙඩි මාරු කළා. නමුත් අපි රට හදන ප්‍රතිපත්ති මාරු කළේ නැහැ. කවුරු මාරු කළත් ඒ හැමෝටම තිබුණේ එකම ජාතික ප්‍රතිපත්තියක්. ඒ ගොල්ලන්ට තිබුණේ ප්‍රතිපත්ති තුනයි. එක ණය ගැනීම. දෙක, ඒකෙන් කොටසක් හොරා කෑම. තුන, ණය ගෙවාගන්න බැරිවෙන කොට විකිණීම. අපි දශක ගණනාවක් තිස්සේ අත්වින්දේ ඒක. ඔබ තේරුම් අරගෙන තිබෙනවා. ඔළුගෙඩි මාරු කළාට වැඩක් නැහැ. ප්‍රතිපත්ති මාරු කරන්න ඕනෑ. ලංකා ඉතිහාසයේ අපේ රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නවා, පාලකයන් වෙනස් කරන්න අමාරුයි. අපි වෙනස් වෙන්න ඕනෑ කියලා. මම දන්නවා මේ ඉන්න ජනතාව ජාතික ජන බලවේගය වටාම රැස්වුණු අය නොවෙයි. අපි වරක් කොළ පාට තේරුවා. වරක් නිල් පාට තේරුවා. වරක් ඔය පාට මිශ්‍රකරලා, කහපාට එකතු කරලා තව එකක් තේරුවා. අපි රට රැක ගත්තා. යුද්දේ දිනුවා. පොළව ඉඹගෙන ඉඹගෙන ගියා කියලා සමහර නායකයන්ට ඡන්දෙ දුන්නා. එයා හොරකම් කළා. ’මම හොරකම් කරන්නේ නැහැ. මම හොරු අල්ලනවා’ කියලා ආවා. එයාටත් ඡන්දෙ දුන්නා. ඇවිත් මාසෙ යන්න කලින් මහ බැංකුවට ගේම දුන්නා. ඊට පස්සේ විරුවෙක් ගේන්න ඕනේ කියලා ගෙනාවා. අපි ඔළුගෙඩි මාරු කළා ඇති. දැන් අපි ප්‍රතිපත්ති මාරු කරන්න ඕනෑ.

ජාතික ජන බලවේගය අලුත් ගමනක් යන්න මේ පිරිස පක්ෂ පාට අමතක කරලා, ඒකරාශී කරගෙන ඉන්නවා. අතීතය ගැන සැලකිල්ලට ගත්තොත් අපි දන්නවා අපි පාලකයෝ මාරු කළේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න නොවෙයි. අපි ඡන්දය ප්‍රකාශ කළේ ජාතිවාදය වපුරන කොට ඒකට රැවටිලා. එහෙම නැත්නම් ආගම්වාදය වපුරන කොට අපි ඒකට රැවටුණා. එහෙම නැත්නම් මිථ්‍යාවට රැවටුණා. සංවර්ධනය කියලා රටේ ජාතික සැලැස්මකට අනුව දේවල් ක්‍රියාත්මක වුණේ නැහැ. පාලකයාගේ ආසාවන් මුදුන්පත් කර ගන්න තමයි මේ රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට අද අපි විශාල ණය කන්දක කොටස්කාරයෝ බවට පත්වෙලා ඉන්නවා. ඔබ දන්නවාද ඔබ කීයක් ණයයිද කියලා. ගිය අවුරුද්දේ අප්‍රේල් වෙනකොට හැමදෙනාම ලක්ෂ එකොළහක් ණයයි. අද වෙන කොට ලක්ෂ දාහතර පැනලා.

මහින්ද මහත්තයා එන්න කලින් අපට හම්බන්තොට වරායක් තිබුණේ නැහැ. ණයක් තිබුණෙත් නැහැ. ණයක් ගත්තා. වරායක් හැදුවා. ණය බිලියන 1.3යි. වරාය හදපු කෙනා කියනවා වරායේ වටිනාකම මිලියන 09යි කියාල. එහෙම නම් ඉතිරි ටිකට මොකද වුණේ. ඒක පොඩ්ඩක් අමතක කරමු. දැන් මහින්ද මහත්තයා ඉන්නවා. වරායක් තියෙනවා. ණයකුත් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආවා. වරාය වික්කා, වරායක් නැහැ. දැන් ණය තියෙනවා. අපි පටන් ගත්ත වරායත් නැහැ. අන්න එහෙම තමයි රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ. පාලකයන්ට තමන්ගේ ආසාවන් මුදුන්පත් කර ගන්න, තමන්ගේ සිඟිති ආශාවන්ට මුල් තැන දෙන්න රටේ ජාතික ධනය වියදම් කරපු නිසා අපි ඔබ සෑම දෙනෙක්ම මේ රටේ ණයකාරයන් බවට පත්වෙලා තිබෙනවා. මේ අර්බුදයෙන් අපි ගොඩ එන්න ඕනෑ. චීනය ඇවිල්ලා අපි ගොඩදායි කියලා බලාගෙන හිටියොත් ඒක වෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිව ගොඩදායි කියලා හිතුවොත් ඒක වෙන්නේත් නැහැ. මිත්‍රවරුනි, අපිම තමයි ගොඩවෙන්න ඕනේ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9ක් ලැබෙයි කියා බලාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඉන්න කාලේ ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගත්තා. ස්වෛරීත්ව බැඳුම්කරවලින් විතරක් අපි ගනිපු ඩොලර් බිලියන පහළොවෙන් 12.5ක්ම ගත්තේ රනිල් වික්‍රමසිංහගේ කාලයේ. ඩොලර් 12.5ක් හා හම්බන්තොට වරාය විකුණලා ඩොලර් 1.2කුත් අරගෙන අන්තිමේට කරපු සංවර්ධනය කුමක්ද? එතකොට රටේ කොරෝනා, සුනාමි තිබුණේ නැහැ. උන්නැහේ එනකොට රටේ ආර්ථික සංවර්ධන වේගය තිබුණේ 5%ක්. යනකොට 2.2%යි

රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ ප්‍රශ්න ටිකක් විසඳිලා වගේ කියලා ඔබ හිතනවා නම්, ඒකට රැවටෙන්න එපා. ප්‍රශ්න විසඳිලා නැහැ. ප්‍රශ්න තවත් උග්‍රවෙලා තිබෙන්නේ. සමහරු කියනවා රනිල් මේක ලස්සනට කළමනාකරණය කරගෙන යනවා. තෙල් පෝලිම් නැහැ. ගෑස් පෝලිම් නැහැ. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් හැදුවේ කවුද? ඒවා කලින් තිබුණෙත් නැහැ. ඒ පෝලිම් නැතිවුණේ කොහොමද? රනිල් වික්‍රමසිංහ අලුත් උපක්‍රමයක් යොදලා. රනිල් වික්‍රමසිංහ එක ඩොලරයක් ගෙනාවේ නැහැ. අපි ණය ගෙවන්නේ නැතිව ඩොලර් බිලියන 5.5ක් ලෝකෙට කණු තිබ්බා. එහෙම නම් ඒ පොලු තිබ්බ සල්ලි අපි ළඟ තියෙන්න ඕනෑ. අපේ රටේ සංචිතවල තියෙන්න ඕනෑ. හැබැයි අද වෙනකොට ඒකත් නැහැ. එහෙනම්, පොහොර ටිකක්, ගෑස් ටිකක්, බෙහෙත් ටිකක් ගෙනාවේ ඒ නොගෙවන ලද මුදලින් මිසක් රනිල් වික්‍රමසිංහගේ අලුත් කළමනාකරණයකින් නොවෙයි. එතුමා රට හදයි කියලා හිතනවා නම් ඒක මිථ්‍යාවක්. එහෙම විශ්වාසයක් නොකරන අය තමයි මේ රැස්වෙලා ඉන්නේ. මේ වගේ වෙලාවක තමුන්නාන්සේලාට කියන්න ඕනේ, නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමෙන් මිසක් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ කියලා මේ මහ පොළොවේ හිටගෙන කියපු අය තමයි මේ ඉන්නේ. එහෙම නැතිව අපට රට හදන, ඩොලර් හදන විජ්ජාවල් නැහැ. නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕනේ.

පසුගිය දවස්වල තේවලට හොඳ මිලක් ලැබුණා තමයි. ඒ ලැබුණේ ආණ්ඩුව අපේ තේවල වටිනාකම් වැඩි කරලා, විදේශ වෙළඳපොළවල් හොයාගෙන ගිහිල්ලා, ඒවා ප්‍රවර්ධනය කරලා ඩොලර් ටිකක් වැඩියෙන් උපයාගෙන නොවෙයි. රුපියල, ඩොලරයට සාපේක්ෂව කඩා වැටුණු නිසා. රුපියල මස්තබාල්දු වෙච්ච නිසා අපේ තේවලට ලැබුණු සල්ලි රුපියල්වලට හැරෙව්වාම සල්ලි ටිකක් වැඩියෙන් ලැබුණා. කුරුඳු වගාව නිසා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ලංකාවට කුරුඳු ඒකාධිකාරයක් තිබෙනවා. ඒක අපි ප්‍රයෝජනයට අරගෙන නැහැ. සුද්දගේ කාලයේ කුරුඳු මිටි බැඳලා යැව්වා. අදත් ඒ විදිහටම කුරුඳු මිටිය බැඳලා යවනවා. අපේ වටිනාකම වැඩිකර ගත්තේ නැහැ. රබර් ෂීට් ටික එකතු කරලා උණුකරලා කොට්ට හදලා ගෙඩිය පිටින් එදත් යැව්වා. අදත් ඒ විදිහටම ගෙඩිය පිටින් යවනවා. අපි වටිනාකම් වැඩිකර ගෙන නැහැ. තේ ආර්ථිකයත් එහෙමයි. ශ්‍රී ලාංකේය තේ නාමය දියුණු කරන්න ජාතික ප්‍රතිපත්තියක් විදිහට ආර්ථික සැලසුමක් සකස් වෙලා නැහැ. ඒ නිසා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමේ අවශ්‍යතාව සහ අවස්ථාව තිබෙනවා. මෙතෙක් බලයට පත්වුණු හැම ආණ්ඩුවක්ම මේ රටේ සම්පත්වලින් ආර්ථිකය දියුණු කරන්න හදන්නේ නැතිව තමන්ගේ බල ව්‍යාපෘතිය උදෙසා බලයේ රැඳී සිටීම උදෙසා සියලු ප්‍රයත්නයන් දරමින් සිටින්නේ.

මේ වන විටත් ඔබ දන්නවා ඔබේ, අපේ බදු මුදල්, වැය කරමින් ඉන්නේ පාලකයන්ගේ සිඟිති ආසාවන් මුදුන්පත් කර ගන්න. රනිල් වික්‍රමසිංහ ආසයි ජනාධිපති හැටියට නිදහස් උත්සවය සමරන්න, කොඩිය උස්සන්න, කොරියාවෙන්, යුක්රේනෙන් ණයට ගනිපු ප්ලේන් ටික, යුද ටැංකි ටික යවන්න, ඒ වෙනුවෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරනවා. අවසානයේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්දය වෙනුවෙන් ආණ්ඩුවට මුදල් නැහැ කියනවා. සහෝදරවරුනි රැවටෙන්න එපා. මේක පට්ටපල් බොරුවක්. අපේ රටේ බදු එකතු කරන ආයතන තුනක් තිබෙනවා. එකක් සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මේවායේ ආදායම් ලැබෙන කොට සුරාබදු කියන එක අවුරුද්දේ හැම කාලයේදීම ලැබෙනවා. රේගු බදු ආනයන, අපනයන ගනුදෙනු සිදුවෙන කොට දිගටම ලැබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතු කරන වැට් බද්ද මාසෙකට වරක් මහා භාණ්ඩාගාරයට ලැබෙනවා. සමාගම් බද්ද මාස තුනකට සැරයක් ලැබෙනවා. ආදායම් බද්ද මාස තුනකට සැරයක් ලැබෙනවා. එහෙම නම් මාර්තු මාසේ වෙනකොට භාණ්ඩාගාරයේ සල්ලි නැතිවෙන්න කිසිම හේතුවක් නැහැ. මේ මවාපෑමක් තමයි. ඒ මවා පෑම හොඳින් පෙන්වන්න ඕන නිසා අද රෝහල්වල බෙහෙත් නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍යකර්මවලට අවශ්‍ය දේවල් මේ කිසිවක් නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා කියනවා අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල්දාන්න කියලා. එහෙම සැත්කම් නැහැ. අපි සැත්කමකට යනකොට එය නොකර බැරි නිසා තමයි කරන්නේ. ගර්භනී කාන්තාවන්ගේ දරු ප්‍රසූතියේදී රුධිර වහනය වළක්වන්න අවශ්‍ය ඖෂධ දැන් ලංකාවේ නැතිවෙමින් යනවා. එතකොට ඔය උන්නැහේ කියන්න බැරි නෑ අත්‍යවශ්‍ය නොවන දරු උපත් මාස හයකින් විතර කල් දාන්න කියලා. ඒ නිසා මේක තේරුම් ගන්න. මේක එක පැත්තකින් රටේ මුදල් අර්බුදයක් තිබෙනවාය කියා පෙන්වන්න වුවමනාවට වඩා දරන උත්සාහයක්. අනික් පැත්තෙන් මතක තියාගන්න ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකේ අපිට බෙහෙත් ගන්න අවස්ථාවක් තිබ්බා. ඒ ක්‍රෙඩිට් ලයින් එක ලංකාව තුළ ලියාපදිංචි නොවුණු සමාගමකට ලබාදීලා ඒකෙන් කොටසක් දැන් ගසාගෙන කනවා. අනික් පැත්තෙන් ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් මේ ඖෂධ ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න පුළුවන්කම තිබෙද්දී ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජීප් රථ 125ක් පොලීසියට ගෙනාවා. ඒ නිසා තෙරුම් ගන්න රටේ පාලකයන් ප්‍රමුඛතාව විදිහට සලකල තියෙන්නේ මොනවාද? කියන කාරණය.

අපි මේක වෙනස් කරන්න ඕනෑ. මාටින් නීමලර් වරක් ප්‍රකාශ කළා හිට්ලර්ගේ නාසි හමුදාව, ජනතාව මර්දනය කරන වෙලාවේ නිහඬව හිටියොත් මොකද වෙන්නෙ කියන එක. ඔහු කියනවා, “පළමුව ආවේ සමාජ ක්‍රියාකාරින් මර්දනය කරන්න. මම නිහඬව හිටියා. දෙවනුව ආවේ වෘත්තීය සමිති නායකයන් මර්දනය කරන්න. මම වෘත්තීය සමිතියකට බැඳිලා නැති නිසා මම නිහඬව හිටියා. ඊළඟට ඔවුන් යුදෙව්වන් ඝාතනය කළා. මම ප්‍රොතෙස්තන්ත්‍ර ආගමේ නිසා මම නිහඬව සිටියා. අවසානයේ ඔවුන් පැමිණියේ මා වෙත. මම වටපිට බැලුවා. මම වෙනුවෙන් යුක්තිය කතා කරන්න කවුරුත් ඉතුරු වෙලා හිටියෙ නැහැ” කියලා. ඒ නිසා මම බද්දේගම ජනතාවට යෝජනා කරනවා,“පිදුරු පොල් අතු නොවෙමු, පරණ ගෙය සෙවිල්ලන, සබඳ අපි ගඩොල් වෙමු, අලුත් නිවසක් තනන”

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?