Latestදේශීයමතවාද

රංගනයෙන් ගෝල්ෆේස් හරහා සජබ වේදිකාව තරණය කළ දමිතා

“දඩුබස්නාමානය” ටෙලි නාට්‍යයේ අද්විතීය රංගනයක යෙදෙන දමිතා පුංචි තිරයෙත් රිදී තිරයෙත් අසමසම රංගන හැකියාවක් පෙන්වා අවසන්. දමිතා එකකට එකක් නොදෙවෙනි චරිත රගදක්වන්න කොහොමත් දක්ෂයි. ඒ හැකියාව ඇය උපතින්ම රැගෙන එන්නට ඇති. නැතිනම් පසුකාලීනව ප්‍රගුණ කරගන්න ඇති. කොහොම උනත් රංගනයට දමිතා දක්ෂයි.

අසංක සායක්කාරගේ “අයියා මලෝ” වේදිකා නාට්‍යයේ නම් දමිතාගේ රංගනය ඒ තරම් මට වැදුනේ නැහැ. දේශපාලන ප්‍රහසනයක් සමගින් ගැඹුරු කියවීමකට අවැසිනම් ඇතුළුවීමට තරම් ඒ පිටපත අපිට අරුත් සපයනවා. නමුත් දමිතාගේ රංගනය ඒ නිර්මාණයට සාධාරණත්වයක් කළා කියලා මට හිතෙන්නේ නැහැ. කොහොම නමුත් රට පුරා විවිධ ප්‍රේක්ෂකයින් වෙතට වෙනස් ආකෘතියකින් ඇතුළු වූ “අයියා මලෝ” නාට්‍යයට ආකර්ෂණයක් වන්නට දමිතාගේ ජනප්‍රියත්වය යම් පමණකට හෝ බලපාන්න ඇති.

දමිතා පහුගිය කාලය පුරා විශේෂයෙන්ම ගාළුමුවදොර අරගලයේ කැපී පෙනුන චරිතයක් වුනා කියන එක අමුතු කතාවක් නෙමෙයි. ජනප්‍රිය තලයේ කේවල මිනිස් පැවැත්මට ඇති ආකර්ෂණය දමිතා නැමති නිලිය තුළින් මතුවූ අරගලකාරිය තුළ තිබුණු නිසාම මාධ්‍ය පවා දමිතාගේ සිදුවීම් වැඩියෙන් හුවාදක්වන්න උත්සාහ කළා. ප්‍රවෘත්තියේ වානිජ වටිනාකමට දමිතාගෙන් ලොකු දායකත්වයක් ලැබෙන නිසා මාධ්‍ය ආයතන ඒ ප්‍රවෘත්ති උස්සන් ඇති.

කෝ මේ රටේ කලාකාරියෝ. අන්න ඒකට දමිතා. ජනතාවාදී කලාකාරියක්. මේක් නිලියක් වුනාට මිනිස්සු අතර අවුවට පිච්චෙන එක ගැනවත් හිතන්නේ නැතුව අරගලයේ ඉස්සරහින්ම ඉන්නේ. මාර යකඩ හිතක් තියෙන ගැහැණියක්. මතකද කට්ටිය එහෙම දීපු ආතල්.

කොහොම නමුත් අරගලයේ අරුත වෙනුවට පුද්ගල ප්‍රතිරූප ඉහළට ආපු නිසාම (ඉහළට ගත්ත නිසාම) ගාළුමුවදොර අරගලයේ ඉලක්ක සපුරාගැනීමට ඇති බාධාවන් ලැයිස්තුවට ප්‍රතිරූප වන්දනාව ද ඇතුළත් විය යුතුයි. දමිතා කියන සාධකය අරගලයේ ජනප්‍රිය කලාපය තුළ නිරන්තරයෙන් සැරි සරමින් තමන්ගේ පෞද්ගලික ඉලක්කය වෙත ඇදී ගිය අයුරු කාටත් පෙනුනේ නැහැ. හැමෝගෙම පොදු හතුරා වුනු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය දිහාවට තමයි හැම ඇහැක්ම වගේ ඇරිලා තිබුනේ.

ෆේස්බුක් පෝස්ටුවක් හරහා විදර්ශන කන්නංගර සහෝදරයා තමන්ගේ දේශපාලන පුරෝකථනය වගේම දේශපාලන අනුරාගය පිළිබදව තබා ඇති සටහනට අනුව ගත්තත් කන්නංගර සහෝදරයා වැනි දේශපාලන ක්‍රියාධරයින්ටත් දමිතලාගේ වෙට්ටු සහගත ආගමනයන් නොපෙනී ගියානම් පොදු ජන සමාජයට දමිතලාගේ ආකර්ෂණය තුළින් සිදුවී ඇති දෘෂ්ඨිවාදී හානිය සුළුපටු වෙන්න බැහැ.

දමිතා කියන ආකාරයට රණසිංහ ප්‍රේමදාස කළේ 88/89 කාලයේ භීෂණය වපුරපු අය මරන්න භීෂණය යොදා ගත්ත එකයි. ඒක හරි. ප්‍රේමදාස හරි. වැරදි තරුණයින්. අරගලකරුවන්. විප්ලවවාදීන්. එතකොට ඒ තර්කයම අද රනිල්ට ආදේශ කරලා බැලුවත් දමිතාට අනුව රනිල් වරදින්න පුලුවන් කොහොමද? එහෙමනම් රනිලුත් හරිනේ. පහුගිය රාජපක්ෂ රෙජීමය තුළ කලාකරුවෝ සාතිශ්‍ය බහුතරය හිටියේ මහින්දට පවන් සලමින්. මතකනේ ජැක්සන් ඇන්තනි. ගෞතම බුදුන්වත් රාජපක්ෂලාගේ නෑදෑයෝ කරලයි පස්ස බැලුවේ. මේ ලැයිස්තුවේ හිටපු අයට වඩා නොහිටපු අය ගණන් කරන එක ලේසියි. ඒ කලාකරුවොයි මේ කලාකාරියයි හැර වෙනත් කලාකරුවන් සිටී ද?

හිතුවටත් වඩා වේගයෙන් දමිතා අපේකෂා කළ තැන හිතුවටත් වඩා හොදින් දමිතාට රණසිංහ ප්‍රේමදාසගේ පුතා, සජිත් ප්‍රේමදාස ලබා දීල තියෙන බවක් තමයි දැන් පේන්න තියෙන්නේ. වයස අවුරුදු 8 දි ‘’පස්සෙ ගෙනා මනමාලි’’ තුළින් රංගනය ආපු දමිතා “සුලං කිරිල්ලි” හරහා තමයි ජාත්‍යන්තරයත් දිනන්නේ. ඒත් අවුරුදු 47දි දේශපාලන පිම්මක් පනින්න හදන දමිතා කියන්නේ අසාර්ථක ආරම්භයක් තුළින් දේශපාලන පිටියේ ඇරියස් කවර් කරගන්න හදන වගේම පටන් ගත්ත ගමන් ගැලරියට ආතල් දෙන්න හදන අසාර්ථක දේශපාලන නිලියක් කියන එකනම් එයාගේ පළමු කතාවෙන්ම තේරුම් ගියා.

සමහර විට සමගි ජන බලවේගයේ මහජන රැලිය දැකලා දමිතා අනවශ්‍ය තරමට සතුටු වුනා වෙන්න පුළුවන්. අනවශ්‍ය තරමට “පිම්බුනා” වෙන්න පුලුවන්. අනවශ්‍ය තරමට “චූන්” වුනා වෙන්න පුලුවන්. කොහොම නමුත් දමිතා ලප් තැනම ලොප්. අඩුම තරමේ සජිත්ට හුරේ දාන ගමන් රණසිංහ ප්‍රේමදාස ගැන කතා නොකරන්න දමිතා පරිස්සම් වුනානනම්. නේද? දමිතා ළග නැවුවා නැවිල්ලක්, දමිතව උඩ දාපු හැම කෙනෙක්මව සුන්නද්ධූලි කරගෙනම.

විදර්ශන කන්නංගර සහෝදරයා ලියලා තියෙන ෆේස්බුක් පෝස්ටුව කවුරු කවුරුත් කියවා ගන්නවා නම් කාට කාටත් හොදයි. මොකද ක්‍රම වෙනස කියන්නේ හැගීම් වලින් ජයගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

(රශ්මික ප්‍රභාත් විශ්වජිත්)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?