Latestදේශීය

ජාජබට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව ජනතාවගේ ආර්ථික අයිතීන් සහ දේශපාලන අයිතීන් සියල්ල උදුරා ගනිමින් සිටින බවත් රනිල් රාජපක්ෂ කණ්ඩායම දෙන දෙයක් කා වෙන දෙයක් වනතුරු බලා සිටීමට මෙරට ජනතාව සූදානම් නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 26 දින) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කඩවක ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

“අළුත් මාවතක් සටනට පක්ෂයක්.” තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පලාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහය දැක්වීමේ රැස්වීම අමතමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය.
“ඉස්සර අනූව දශකයේ මුල විහිළු කතාවක් තිබුණා. ඒ කතාවට අනුව නැගෙනහිර ජර්මනියේ බල්ලෙකුයි බටහිර ජර්මනියේ බල්ලෙකුයි බර්ලින් තාප්පය ළඟදී හමු වෙනවා. නැගෙනහිර ජර්මනියේ බල්ලා කියනවා මේ පැත්තේ අපට ඕන තරම් කන්න තියෙනවා ඒත් බුරන්න දෙන්නේ නෑ කියලා. එතකොට බටහිර ජර්මනියේ බල්ලා කියනවා අපිටනම් ඕන තරම් බුරන්න නිදහස තියෙනවා කන්න තමයි නැත්තේ කියලා. මේ කතාවට ලංකාවේ බල්ලෙක් අද එකතු කළොත් කියන්න වෙන්නේ මෙහේනම් අපට කන්නත් නෑ බුරන්නත් තහනම් කියලා. රනිල් – රාජපක්ෂ පාලනය ජනතාවගේ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍ර හැම එකකම හැම අයිතියක්ම උදුරා ගන්නවා.
මේ වනවිට ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 59ක් ආහාර හිඟයෙන් පීඩාවට පත්වෙලා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. බඩු මිල බදු බර අහස උසට නැගලා දරන්න බෑ. ආර්ථික අර්බුදයේ මුලු බර පටවා තියෙන්නේ පොදු ජනතාව මත. ධන කුවේර සමාගම් බදු වංචා කරනවා. ඒවාට නීතිමය ක්‍රියාමාර්ග නෑ. ඒ ගැන ජනතා මතය ප්‍රකාශ කරන්න මැතිවරණ තියන්නේත් නෑ. ආණ්ඩුව අයුක්තිසහගතව මැතිවරණ කල්දමමින් ජනමතය යටපත් කරන්න හදනවා. මැතිවරණ කල් දැමිමට එරෙහිව ජාතික ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂණයටත් අද පහර දුන්නා. අපි මේ තිරිසන් මර්දනය පිලිකුලෙන් හෙලා දකිනවා. පෙබරවාරි 4 වැනිදා කොහේ තියෙන නිදහසක්ද කියලා පුවරු අතැතිව මරදානේ සත්‍යග්‍රහ කළ අයටත් පහර දුන්නා. රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ කියන්නේ උඹලාට ආර්ථික අයිතීන් දෙන්නෙත් නෑ, මැතිවරණය ඇතුළු දේශපාලන අයිතීන් දෙන්නේත් නෑ, ඒවා ඉල්ලා අරගල කරන්න දෙන්නේත් නෑ කියලා. ඒ කියන්නේ කෑම කන්න කට අරින්න තියෙන අවස්ථා නැති කරලා ඒ ගැන කතා කරන්න කට අරින්න තියෙන අයිතියත් උදුරා ගන්නවා. මේ අත්තනෝමතික පාලනය අවසන් කරන බලය තියෙන්නේ ජනතාව අතේ. ඔය කොයි ඒකාධිපතියත් ජනබලය ඉදිරිපිට කුරා කුහුඹුවෝ වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ අත්තනෝමතිකත්වයට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නගන්න එකතු වෙන්න කියලා. “

නිශ්ශංක සංජීව

දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?