Latestදේශීය

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම්

දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3000 ක් දහනය කර විනාශ කිරීමට නව නීත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත් විදේශිය රටවල් වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය සපයනුලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වැඩි කිරීම අරමුණු කර ගනිමින් පුනරුත්ථාපන කාර්යාංශ පනත සංශෝධනය කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

යුක්තිය පසිදලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීම සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉටු කර ඇති හා ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට පසුගියදා (23)එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලබාදීමේ වේගය මේ වන විට සීයයට සීයක් දක්වා වැඩි කර ඇති අතර, 2015 වසරින් පසුව ජාත්‍යන්තර ප්‍රමිතියේ යුත් අංග සම්පුර්ණ වාර්තා ලබා දෙන ආයතනයක් බවට එම ආයතනය පත් කිරීමට කොරියානු රජය ලබා දුන් නව පරීක්ෂණාගාර දෙක ස්ථාපිත කිරීමත් සමග හැකියාව ලැබී ඇති බවද අමාත්‍යවරයා එහිදී කීවේය.


මීට මාස දෙකකට පමණ පෙර විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කිරිමට පියවර ගත් බවත්, ඒ මගින් මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්ව සිර දඩුවම් ලබාදීම සදහා මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක්ව පැවති ප්‍රමාණය ග්‍රෑම් 5 ක් දක්වා වැඩි කර ඇති බවත්, ග්රූම් 5 ට වඩා අඩුවෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සිදු කරන බවත්, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ විශේෂ රෙගුලාසි ඇතුළත් නව විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකස් කරමින් සිටින අතර එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේය.


අධිකරණ අමාත්‍යාංශය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව එම නව විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදය පිළිබදව සාකච්ඡා කරමින් ඇති අතර එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.


ඒ අනුව මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 ක් පමණ එක් වර දහනය කර විනාශ කිරීමේ හැකියාව පවතින යන්ත්‍රයක් සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, එසේ දහනය කිරීම සදහා අයිස් සහ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3000 ක් පමණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පවතින බව සදහන් කළ අධිකරණ අමාත්‍යවරයා විඩීයෝ ඡායාරූප ගැනීමෙන් පසුව අවශ්‍ය සාක්ෂි ලබා ගෙන දහනය කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් වැඩිවි ඇති අතර, ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම කළ නොහැකි බවත්, දකුණු සහ උතුරු මුහුදු මාර්ගයෙන් විශේෂයෙන් ධීවර බෝට්ටු හරහා මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එන බවත්, නාවික හමුදාව ඇතුලු ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ගෙන ඒම පාලනය කිරීමට කටයුතු කරන බවත්, මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන ජාත්‍යන්තරව ක්‍රියා කරනු ලබන ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කරන බවත්, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් නිවාස අඩස්සියේ සිට පුනරුත්ථාපනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරන බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.


ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක සමන්තා විමලසේන, සැක කටයුතු ලේඛන පිළිබදව ආණ්ඩුවේ පරීක්ෂක ජේ.එම්.ආර්.ජයසුන්දර, ආණ්ඩුවේ නියෝජ්‍ය රස පරීක්ෂක පී.ජී.මඩවල අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් පළ කර ඇත.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?