Latestදේශීය

මට දැන් සල්ලි ඉල්ල ඉල්ල මුදල් ලේකම් පස්සෙන් යන්න වෙලා – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

මෙතෙක් පැවති ඡන්දවලදී මැතිවරණ කොමිෂන් සභාව මගින් මුදල් ලබා දුන් බවත් මේ ඡන්දයේදී මුදල් ඉල්ල ඉල්ලා මුදල් ලේකම් පසුපස තමාට යෑමට සිදුවී ඇති බවත් කවුරු කවුරුත් වගකීම ඉටු කරනවා නම් මෙවැනි තත්වයක් ඇති නොවන බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ පවසයි.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකිරීම රජයේ මුද්‍රණාලය සතු කාර්යයක් වුවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව ඍජුව මැදිහත්විය යුතු බවත් පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය මේ වනවිට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මුදල් ලේකම්වරයා වෙත ලිපි දෙකක් යවා ඇති බවත් එම ලිපිවලට මේ වනතෙක් කිසිදු පිළිතුරක් තමාට ලැබී නැති බවත් අවධාරණය කරයි.

තැපැල් ඡන්ද පත්‍රිකා මෙම මස 15 වන දා ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම් දුන්නද මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලැබී නොමැති බවත් 15 වන දා තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමේ ඇති අපහසුකම් පිළිබඳ දැනුම් දුන් බවත් රජයේ මුද්‍රණාලයෙන් සිදුකළ යුතු කාර්ය භාරය අවසන් කිරීමට දින 25-30ත් අතර කාලයක් ගතවන බැවින් මුදල් හා පොලිස් ආරක්‍ෂාව ලැබෙන දිනයේ පටන් එම කාලය තුළ මුද්‍රණ කටයුතු අවසන් කරන බවත් ඇය පවසයි.

ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි මුදලක් මුද්‍රණ කටයුතු සඳහා ගෙවීමට සිදුවී ඇති බව පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්‍ෂාව ලබා දෙන තෙක් ඉතිරි මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි බවද පවසයි.

එමෙන්ම මුදල් ලේකම්වරයා විසින්, සේවා සහ මිලදී ගැනීම් අත්හිටුවන ලෙසට නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය නිසා මුදල් ලැබෙන තෙක් ඉදිරි මුද්‍රණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උද්ගතව පවතින බවද මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?