Latestදේශීය

විදේශ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකළ කාන්තාවක් අත්අඩංගුවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1985 අංක 21 දරන පනතේ 37 (1) වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභියෙකු විදේශ රැකියා සම්බන්ධයෙන් දැන්වීම් පළකරන්නේ නම් ඒ සඳහා කාර්යාංශයේ පූර්ව අනුමැතියක් ලබාගත යුතු අතර, එසේ නොමැතිව දැන්වීම් පළකර විදේශ රැකියා සඳහා බඳවා ගැනීම හෝ විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම කාර්යාංශ පනත අනුව නීතිවිරෝධි වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් යන රටවල කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම රැකියා ලබාදෙන බව පවසමින් කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධි අයුරින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කාර්යාංශයේ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් 2023.03.26 දින මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී. මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී ඇය රැකියා නියෝජිතායතනයක අතරමැදි තැරැව්කාරියක් බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකර සම්බන්ධ කර ගන්නා පුද්ගලයින් එම ඒජන්සි ආයතනය වෙත යොමුකරන බවටද කරුණු හෙළි වී තිබේ.  

අත්අඩංගුවට ගත් තැනැත්තිය 2023.03.27 වන දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. වැඩිදුර නඩු විභාගය ජූනි මස 30 දින යළි කැඳවීමට නියමිතයි. මෙම අත්අඩංගුවට ගැනීම සදහා කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් වන රවීන්ද්‍ර අබේපාල, වසන්ත ඒකනායක, ඉදුනිල් පුෂ්පකුමාර, නදීකා චන්දිමාලි හා ගයේෂා සුභාෂිණී යන මහත්ම මහත්මීන් එක්විය.ඒජන්සි ආයතනයක් මගින් විදේශ රැකියාවට යාමට බලාපොරොත්තු වන පුද්ගලයින් අතරමැදි තැරැව්කරුවන්ට හසු නොවී සෘජුවම බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් සමග සම්බන්ධ වන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයින් වෙත දන්වා සිටින අතර, යම් ආයතනයක් විදේශ රැකියා සම්බන්ධව දැන්වීම් පළකරන්නේ නම් එම දැන්වීමේ රැකියා නියෝජිතායතනයේ නම හා බලපත්‍ර අංකය සඳහන් කර ඇතිද යන්න පරික්ෂා කරන මෙන්ද කාර්යාංශය දන්වා සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?