Latestදේශීයමතවාද

ආපසු හැරෙන්න බැහැ බුද්ධි

(විදර්ශන කන්නන්ගර)

බුද්ධි ප්‍රබෝද ගේ සමුගැනීම මෑත කාලය තුළ මා සලිත කළම මරණය විය හැකිය.එය මේ මොහොත වන තුරු මට අකුරු අමතක වන තරමේ හැගීමක් විය. කියාගත නොහැකි තරමේ ආලෝචනයන් දල්වන්නක් විය.

‘අරගලය’ විසින් මගේ ජීවිතයට පුද්ගලිකව එක් කළ වෙනස් අද්දැකීම් දෙකක් අවම වශයෙන් ඇත.ඉන් එකක් වන්නේ සමාජයීය යුක්තිය වෙනුවෙන් දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කළ අධිෂ්ඨාන සහගත ලිබරල් තරුණ මිතුරන් කිහිප දෙනෙකු අලුතෙන් දැන හදුනාගැනීමට ලැබීමයි. ඔවුන් සහ අප අතර ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් යම් විසංවාද පැවතියද නව-ලිබරල්/වර්ගවාදී,ජනපීඩක,ඒකාධිපති පාලනයක් සුජාත කිරීම සදහා දේශපාලන ලිබරල්වාදයේ ඇතැම් වටිනාකම් පාවා දීමට ඔවුන් සූදානම් නොවීය.

මා ලද අනෙක් අද්දැකීම වන්නේ ආර්ථික-දේශපාලන මතවාදයන් සම්බන්ධයෙන් අප අතර කවර වාද විවාද තිබුණේ වුවද,වත්මන් රනිල්-‍රාජපක්ෂ ප්‍රභූ දේශපාලන කල්ලියේ මර්දනයට එරෙහිව දේශපාලන නිදහස වෙනුවෙන් වත් පෙනී සිටිනු ඇතැයි සිතූ ඊනියා ‘මිතුරන්’ ප්‍රමාණයක් තමන් එතෙක් ප්‍රදර්ශනය කළ අවම ලිබරල් වටිනාකම් පවා අමු අමුවේ පාවා දෙන ප්‍රතිපත්ති විරහිත නින්දිත තක්කඩියන් පිරිසක් බවට රූපාන්තරණය වී සිටීමයි.

බුද්ධි ප්‍රබෝධ යනු මට ඉහත කී පළමු වර්ගයේ නව මිතුරු මුණගැසීමකි. සටන් බිම උණුසුමින් මතක් කළ හැකි සහෝදර හදවතකි.

මිනිසෙකු යනු මරණය හඹා යෑමේ ප්‍රේරණය දරා සිටින්නෙකි. මිනිසත් බව යනු එම අතිරික්තය විසින් මෙහෙය වෙන්නකි. අපගේ ජීවිතය ඉදිරියට චලනය කරන දර්ශකය වන්නේ අප තුළම වන මෙම ‘වඩා වූ දෙයයි’. අප තුළම වන ඒ ආගන්තුක පැවැත්මයි. මිනිස් ජීවිතය ඛේදනීය සාටෝප රංගයක් වන්නේ මේ අප තුළම වන ‘ආගන්තුක යක්ෂ භවයෙන්’ පලා යාමට දක්වන පෙළඹුම නිසාවෙනි. පවතින සමාජ ක්‍රමය,අධිපති දෘෂ්ටිවාද, පාලක පංතීන් ඇතුළු යටත්කරණයන්ගේ විවිධ මාදිලීන්ට අප අනුගත වන්නේ ඉහත කී ජීවිතයේ ගැඹුරු සාංදෘෂ්ටිකත්වයට මුහුණ දීමට ඇති බිය හා නොදැනුම නිසාවෙනි. මිනිසකු තමා තුළම වන මරණාශයට ‘දැනුවත්ව’ අභිමුඛ වීම හුදු මානසික රෝගයකට වඩා පැවැත්ම පිළිබදව වන ගැඹුරුතම දාර්ශනික-ජීවන තෝරාගැනීම විය හැකිය. එක්කෝ ‘මරණය’ අභ්‍යන්තරිකව මෙනෙහි කරගැනීම නිසා දැල්වෙන පරාර්ථ ජීවිතයක් ! නොඑසේනම් සිය ජීවන පැවැත්ම කෙරෙහි වන උතුරා යන අනුරාගික ආදරය නිසාම මරණය තෝරාගත් ස්වාර්ථ ජීවිතයක් !

බුද්ධි ප්‍රබෝධ අපෙන් සමුගෙන යන්නේ පරාර්ථ හා ස්වාර්ථ යන අන්ත දෙකෙහි ‘සහජීවනය’ (coexistence ) ගැඹුරින්ම විශද කරමිනි. එහි ආත්මීය මදය වෙත අපගේ දේශපාලන චිත්තය අවදි කරමිනි.දුර්දාන්ත පාලනයක් විසින් ගත් අත්තනෝමතික තීරණයන් හමුවේ නිහඩ-යටත්වැසි සමාජයක් ලෙස පවතිනවාට එරෙහිව වීදි බට ආරම්භක මිනිසුන් අතලොස්ස අතරට ඔහුගේ අධිෂ්ඨානයද එක්වන්නේ ඔහු තුළින් ඇසෙන මරණයේ හඩ නිසාය. අරගලයේ පරමාර්ථ පාවා නොදී තවදුරටත් එය ආරක්ෂා කිරීමේ අභිලාෂය නිසා ක්‍රියාකාරී මිනිසුන් සුළුතරයකට අද මොහොත තුළ දැනෙන හුදෙකලාවකදී මරණයේ හඩ ඔහුට යළිත් තදින් ඇසුනා විය හැක.

මරණාවේශය (Death Drive) අප සිතනවාට වඩා අත්‍යන්තයෙන්ම දේශපාලනිකය. බුද්ධි ප්‍රබෝධ සිය මරණයෙන් පවා සමාජයට දේශපාලනය එන්නත් කරමින් සිටියි.

යළි හැරීමක් නැත !

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?