Latestදේශීයමතවාද

මංගල තලේබාන්කරණය නොවුණේ ඇයි?

(මහේෂ් හපුගොඩ)

ඔය මංගල ගැන කවි සිංදු ලියන උන් මංගල නම් දේශපාලනඥයාගේ ඇත්තත් ටිකක් හරි ලියපල්ල. මංගල පරිපුර්ණ දෙයක් බවට පත්කරපල්ලා (complete). මොකද දැන් කියන කරන දේවල් වල තියෙන්නේ ඌ සුරුට්ටු බිබී පිනක් ෆ්ලොයිඩ් (Pink Flyod) අහපු අහිංසක දෙයියෙක් කරන එක. ඇයි බං එහෙම? මේ රටේ අපිට ඉතිහාසය අමතක වෙලා මැරිලා ඉපදිලා නැහැනේ.

මංගල ඔය කියන තරම් ලිබරල්වත්, අහිංසකවත්, සංස්කෘතිකවත්, බටහිරවත් නැහැ. අනික මට නම් එහෙම අහිංසක ලාමක ටිං ටිං දේශපාලන නිරවද්‍ය මංගල කෙනෙක් ඕනිත් නැහැ. පොර ඒ වෙලාවේ කළේ දේශපාලනය. ලංකාවේ දේශපාලනය. ඇමෙරිකාවේ එංගලන්තේ දේශපාලනය නෙවෙයි.

පොර හිටියේ චන්ද්‍රිකා එක්ක. එයා වෙනුවෙන් භක්තිමත් ව. ඒ වෙනුවෙන් සහ ඒ ව්‍යාපෘතිය ගොඩදාගන්න සහ පවත්වාගෙන යන්න ”ඕනෑම කුපාඩි වැඩක්” කරන්න සුදානම් වෙලා හිටියේ.

මංගල කියන්නේ එහෙම සුදානම් වෙලා හිටපු සාමාන්‍ය ලාංකිකයෙක් මිසක් වෙන කිසිම දෙයක් පොරගේ තිබ්බේ නැහැ. පුද්ගලිකව මොනවා හරි සංස්කෘතික කෑලි ටිකක් ඇඟේ එල්ලගෙන ඉන්න ඇති. හැබැයි ඕනි වෙනකොට විරුද්ධවාදීන්ගේ ඔළු කුඩු කරන්න, චරිත ඝාතනය කරන්න, මඩ කැම්පේන් කරන්න, රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරන්න පොර පොඩ්ඩක්වත් මැලි වුණේ නැහැ. ඒ ගැන දෙගිඩියාවක් තිබ්බෙත් නැහැ.

ඔය X එකේ වැඩ වලට උනත් උදව් කළේ වෙනත් මතවාදයක් ගෙනල්ල ලංකාවේ ඇත්ත දේශපාලනයක් ගොඩනැගෙන එක වලක්වන්න මිසක් අහිංසක අරමුණකින් නෙවෙයි. ඒකත් එයාගේ පැත්තෙන් දේශපාලනය තමයි. හැබැයි විශ්වීය නැහැ.

ඒ කියන්නේ පොර ලංකාවට ගැළපෙන, ලංකාවේ ප්‍රභූන්ගේ අශ්ලීල ප්‍රමෝදයට හරියන, එයාලගේ හිත දිනාගන්න ඕනි විදියේ ඉවක් තිබ්බ සාමාන්‍ය මනුස්සයෙක්, දෙවියෙක් නෙවෙයි. මම කියන්නේ එහෙම බැලුවොත් විතරයි මංගලට සාධාරණයක් කරන්න පුළුවන්.

තමන් සමලිංගිකයෙක් වෙලාවත් ලංකාවේ අනික් ඒ වගේ අය වෙනුවෙන් වත් නෛතික පසුබිමක් හදල දෙන්න කිසිම වැඩක් නොකරපු හාල්පාරුවෙක්. ඊටත් අමතරව ඒ වගේ නැමියාවන් පහල දේශපාලන ප්‍රොපගැන්ඩා වෙනුවෙන් භාවිතා කරපු සාමාන්‍ය අශ්ලීල ටේස්ට් එකක් තිබ්බ මිනිහෙක්. විශේෂයෙන් ”රනිල්ට බැහැ” ආවේ ඒකෙන්. ඒ වෙලාවේ අපි සෑහෙන්න රිදවා ගත්ත ඒ කැම්පේන් එක නිසා. මොකද අපි ඒ වෙලාවේ (අවුරුදු විස්සකටත් කලින්) රනිල්ගේ පුද්ගලික නැඹුරුව ගැන අවුලකින් නෙවෙයි හිටියේ.

චන්ද්‍රිකා කරපු ඕනි දෙයක් මංගල සාධාරණීකරණය කළා. වයඹ මැතිවරණය. සුසන්තිකා සිද්ධිය. රූකාන්තගේ චන්ද්‍රලේඛා ගේ කොන්ඩේ කැපීම. ඕවා උදාහරණ. තව ඕනෑ තරම්. මැරුණ මිනිහෙක් ගැන දැන් මම ගොඩක් ලියන්න කැමති නැහැ. කොටින්ම කිව්වොත් ලංකාවේ ලිබරල් පැවැත්මේ අඳුරුම, අශ්ලීලම, නරකම උදාහරණය මංගල.

මහින්ද කඳවුර ඇතුලේ පවතින්න බැරිම උනාම තමයි පස්සේ ඊට එරෙහිව ලිබරල් නිදහස් පැවැත්මක් ගැන උත්කර්ෂයක් ආවේ. නැත්නම් ඔහුට තලේබාන් කෙනෙක් වෙන්න තිබ්බේ නූලක දුරක්. ඒකට අපි ස්තූතිවන්ත වෙන්න ඕනි මහින්ද ට.

ඇත්තටම කෑගල්ලේ වගේ කොළඹින් ඈත ඉපදිච්ච අපි ඒ වෙනකොටත් ලෝකේ වටේ ඇවිදලා තිබ්බ කියන මංගලට වඩා ලිබරල් වෙලා හිටිය කියල හිතෙනවා. මට හිතාගන්න බැරි එහෙම ලෝකෙක මංගල ලිබරල් දෙයියා වෙන්නේ කොහොමද කියන එක.

අපිත් මංගල වගේ ම ෆැෂන් කළා. සින්දු ඇහුව. ෆිල්ම් බැලුව. රොක් ගැන ලිව්වා. ලිබරල් ඉවසීම ඇතුලේ ලිංගිකත්වය ගැන හිතුව. මංගලල ලංකාවට කරපු විනාශය ගැන දුක්උණා. දැන් මංගල තමයි ලිබරල් දෙයියා. අපි බයියෝ. මේ රට හැදෙයිද බං මේ විදියට.

පව් බං අපි….පව් බං මේ රට…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?