Latestදේශීයමතවාද

මංගල දෙවියෝ…!

(කේ සංජීව)

මංගල දේවත්වයට ඔසවමින් යන එක දිහා ආදරයෙන් බලන් ඉන්න ගමන් මේ ටික ලියන්න හිතුනා.

ඉස්සර මම රාවයේ ඉන්න කාලේ මංගලගේ සම්මුඛ සාකච්ඡාවක් පත්තරේට කරලා ඒක පළවෙලා තිබුණා. ඉතිං අපි ඒ සතියේ කතෘ මණ්ඩල සාකච්ඡාවට වාඩිවෙලා ඉන්නකොට මේ ලිපිය ගැන කතාවක් ආවා මේසයට. මේ කතාව ඇදලා ගත්තේ අතුල අයියා(වික්ටර් අයිවන්), මිනිහා ජනේගෙන් ඇහුවා ඇයි චන්ද්‍රිකා ගේ කාලේ මංගලගේ කුප්‍රකට වැඩ ගැන ප්‍රශ්න නොකළේ කියලා. ඒ සංවාදය උණුසුම්ව ගියා. අද මංගල ගැන චින්තලා කරපු වැඩක් දකිනකොට මට මේ කතාව නිකමට මතක් වුණා.

චින්තලා මේ වැඩේ හරහා මංගලගේ දේශපාලන උරුමය උඩින් මංගලගේ පන්තිමය හැසිරීම අයිසින් කරලා වෙන නැරෙටිව් එකක් ගොඩනගනවා. ඒක ලස්සන රස කේක් එකක්. මංගල ගහපු සුරුට්ටුව, මංගලගේ කැමරාව (සූරියකන්දේ), මංගල ඇන්ද විදිහ, මංගල ඉගනත්තේ මොනාද? මංගලගේ රැකියාව, මංගල බීපුකාපු විදිහ වගේ දේවල් එක්කාසු කරලා එක පදමට ඒ අයිසින් මිශ්‍රනය හදලා තියෙනවා.

ඒත් ලංකාවට මංගලගෙ මේ විලාසිතාමය ජීවිත හැසිරීම වැඩක් වුණේ නෑ කියන එකයි මගෙ අදහස. එහෙම වැඩක් වුණානම් මංගල මැරුණට පස්සේ භෂ්මාවශේෂ මාතරට වඩම්මලා උත්සව කරන එකක් නෑ.

කොහොම වුණත් මේ ජීවිත හැසිරීම අතින් මංගල කියන්නේ බලන් ඉන්න ලස්සන කෙනෙක්. ලයනල් වෙන්ඩට් වගේ අය ගැන අපි අහලා තියෙන දේවල් ඇත්තටම දැක්කේ මංගල වගේ අයගෙන්. මේ අතින් බැලුවාම මංගල Martin Scorses ගේ ෆිල්ම් එකක කැරැක්ටර් එකක් වගේ.

ඒත් මංගලගේ මේ ජීවන හැසිරීම ලංකාවට වැදගත් වුණේ නෑ කියලයි මට හිතෙන්නේ. ඊටවඩා ලංකාවට අල්ලලා ගියේ මංගලගේ දේශපාලන හැසිරීම.

මංගල සහ එස්බී කියලා කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ අපිට මතක හිටින චරිත දෙක. ඒකාලේ කතාවට කීවේ චන්ද්‍රිකා ගේ අගසව් දෙනම කියලා. ජේආර්ට මැණික්දිවෙල හිටියා වගේ ප්‍රේමදාසට කුරේහිටියා වගේ චන්ද්‍රිකා ට හිටියේ මංගල. මංගල මොකද කියන්නේ කියලා අහලා තමයි චන්ද්‍රිකා වැඩ කළේ.

පාදයාත්‍රා ගිහිං මව් පෙරමුණු හදලා මානවහිමිකම් උඩින් බලයට ආපු චන්ද්‍රිකා මානවහිමිකම් බල්ලට දාලා මාධ්‍යවේදීන්ට දුවන්න ගැහුවේ මංගලගේ උපදෙස් අරගෙන. ජේ ආර් ගෙන් පටන් ගත්ත පාතාල දේශපාලනය උඩටම ආවේ චන්ද්‍රිකා ගේ කාලේ මංගලගේ ආශීර්වාදය ඇතුව.

රත්නපුරේ ඩීඑම් සෙනෙවිරත්න ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න දේශපාලනය යටගිහිං චොකාමල්ලිගේ දේශපාලනය උඩට ආවේ චන්ද්‍රිකා ගේ කාලේ මංගලලා ගෙනාපු පාතාල දේශපාලන සංස්කෘතිය නිසා.අපි ඒ වෙනස ඇස් දෙකට දැක්ක පරම්පරාව.

රනිල් ගේ පුද්ගලික ලිංගික නැමියාව අල්ලගෙන ඒක ජනමතය නිශ්පාදනය කරන්න විද්‍යාත්මකව භාවිතා කළේ මංගල. ‘රනිල්ට බෑ’ කියන මංගලගේ මෙහෙයුම ඇවිත් ලාංකේය සමාජ මානසික තත්ත්වයන් ගැන නිවැරදි අධ්‍යයනයක් අස්සේ ගොඩනගපු දේශපාලන සන්නිවේදනයක්.

ඇත්තටම කියනවානම් ජනමතය නිශ්පාදනය සඳහා දියුණුම විදිහට මාධ්‍ය භාවිතා කළේ මංගල. මංගලට ඒක තමන්ගේ විදෙස් අධ්‍යාපනය හේතුවක් වෙන්න ඇති.

අපි ඒකාලේ මංගලට සහ එස් බීට කිව්වේ ඡන්ද මැෂින් කියලා. එහෙම කියන එක අස්සෙම තියෙනවා කතාව. ඇත්තටම කියනවා.නම් මේ ජඩ ත්‍රාඩ මාධ්‍ය සංස්කෘතික ගොඩනගන්න විශාලම වැඩ කොටස කළේ මංගල.

එතනිනුත් එහාට ගියොත් මංගල හැමදාම පාර්ලිමේන්තු ගියේ තමන්ගේ කුලයේ ඡන්ද නිසා. මංගලගේ හැසිරීම ලිබරල් වුණාට මංගලට තිබුණේ කුලවාදී දේශපාලනයක්. මාතර වැඩිම දේශපාලන පත්වීම් දීපු කෙනා කවුද කියලා හෙව්වොත් මංගල එතන මුදුනෙන්ම ඉන්නවා. මාතර වැඩියෙන්ම පන්සල් වලට උදව් කළේ කවුද කියලා හෙව්වොත් ඒ මංගල.. ඒ දුන්න පත්වීම් වලින් බහුතරයත් තමන්ගේ කුලයට අදාළව තමයි දුන්නේ.

අද සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ගැන පනතක් පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙනවා හැබැයි මංගලට කවදාවත් මෙහෙම දේවල් ගැන උවමනාවක් තිබුණේ නෑ. ඒක තමයි ඇත්ත.

රාජපක්ෂ පවුලට මේ රට පවරා දීමේ මූලිකම රාජකාරිය කළේ කවුරුත් නෙවෙයි මංගල. ටිරාන් අලස් ලා වගේ දේශපාලන කොඩිවින කරළියට ගෙනාවේ මංගල.

මංගල ඇත්තටම රාජපක්ෂ ලාගෙන් කැඩෙන්නේ ඔය ‘මංගල කවය’ කියන හේතූන් නිසා නෙවෙයි එතන තියෙන්නේ ඊගෝ ප්‍රශ්නයක්. පැරිෂුට්කාරයෝ වුණ බැසිල්ලා ගෝඨලාට සෙකන්ඩ් වෙන්න වීම ගැන තිබුණ කළකිරීම නිසා රාජපක්ෂ ලාගෙන් කැඩුනා මිසක් ලංකාවට ආදරෙන් කැඩුනා කියලා කියන්න බෑ. හැබැයි මංගල ගැන ගොඩනගන සාහිත්‍යට ඒක අසුවෙන්නේ නෑ.

අද ඇත්තටම පිළිලයක් වෙලා තියෙන දේශපාලන සංස්කෘතිය මංගලලා දැනුවත්ව බිහිකළ දේවල්.

ඇමති කෙනෙක් විදිහට මංගල මේ රටට මොනවද කළේ කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ බේරේ වැව සුද්ද කළා, තෙල්වලට මිල සූත්‍රයක් හැදුවා වගේ කතා ටිකක් විතරයි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න සිස්ටම් වෙනස් කරන්න තීරණාත්මක දේවල් කරපු ඉතිහාසයක් මංගලට තිබේ නම් මම කැමතී ඇත්තටම ඒ ගැන දැනගන්න.

මංගලට උපතින් උරුම වුණු ජීවන විලාසිතාවට මම කැමතියි ඒත් ඒ ජීවන විලාසයෙන් තඹ සතේක දෙයක් මේ රටට වැදගත් වුණේ නෑ. ඒත් මංගලලා චන්ද්‍රිකා ගේ කාලේ ගොඩනගලා මහින්දගේ කාලේ උසම ස්ථානයට වඩම්මපු දේශපාලන කෙරුවාව නම් මේ රටට බලපෑවා. අද මේ රට යම් අගාධයක ඉන්නවා නම් ඒ දේශපාලන සංස්කෘතිය තමයි ප්‍රධාන වැරදිකාරයා. ඒකේ තීරණාත්මක ම කාර්‍යක් කරපු මංගල අද දෙවියෙක් වෙලා..!

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?