Latestදේශීය

රනිල් ජනාධිපති කරන්න අනිවාර්යයෙන්ම වැඩකරනවා

(ප්‍රදීප් අනුර කුමාර)

ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි.

එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදෙනු ලැබිණ.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ප්‍රශ්නය – ඇමතිතුමා මානව හිමිකම් කොමිසමට ආවේ ඇයි?

පිලිතුර- 2021 මැයි 9 වැනිදා නිවාස ගිණි තැබීමෙන් අපේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමෙන් මට කැඳවීමක් ලැබුණා. ඒ අනුව  මම ඇවිල්ලා අවශ්‍ය තොරතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය – මොනවද ලබාදුන්න තොරතුරු ?

පිලිතුර- මගේ නිවස ගිණි තියනකොට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් ඒ ස්ථානයේ හිටියා.ඔවුන් අවම බලය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවත්, ගිණි තැබීමේ සිද්ධියෙන් පසුව පරීක්ෂණ කටයුතු සාධාරණව සිදු නොවීම පිළිබඳව හා මින් ඉදිරියට එවැනි සිදුවීම් නොවීමට වග බලා ගැනීම ගැන නිළධාරින් දැනුවත් කළා.

ප්‍රශ්නය-  ඔබතුමාගෙ නිවාස ගිණි තැබීම ගැන පමණද කතා කළේ?

පිලිතුර- නෑ… මන්ත්‍රීවරුන් වගේම නිවාස ගිණි ගැනීමට ලක්වීම ගැන පැමිණිලි කළ අයත් වරින් වර කැඳවල තිබුණා.මටත් මීට කලින් කැඳවීමක් ලැබිල තිබුණා.මට එන්න බැරිවුණා. අද ලැබුණු කැඳවීමට ඇවිල්ලා තොරතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය- මෙවැනි සිදුවීමකදී  දණිස්සෙන් පහලට වෙඩි තියන්න පොලීසියට පුළුවන්. නමුත් මෙතනදි පොලීසිය බලාගෙන හිටියේ   ඉහලින් ලැබුණු නියෝග නිසාද?

පිලිතුර- ඒක තමයි’ අපිටත් තිබෙන ගැටළුව. මෙතනදි ඒ ගැනත් සාකච්ඡා කළා. පොලීසිය හා හමුදාව එකම ආකාරයට හැසිරීම ගැන ගැටළුවක් තියෙනවා. ඒ සදහා අනුබල දුන්න අය කවුද කියල හොයන්න ඕන. ආයුධ පාවිච්චි නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහලින් නියෝග ලැබුණු බවට අපිව දැනුවත් වෙලා තිබුණා.

ප්‍රශ්නය- හිටපු ඇමති සරත් වීරසේකර මහත්තය කියල තිබුණා මේ ගැන පොලීසිය සම්බන්ධවත් පරීක්ෂණයක් කරන්න ඕන කියල?

පිලිතුර- මම කියන්නේ පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරල මේ ගැන හොයන්න ඕන කියලයි. මොකද මෙවැනි සිදුවීමක් ගැන බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක මෙවැනි දෙයක් සිදුවීම ගැන අපිටත් ගැටළුවක් තිබෙනවා.

ප්‍රශ්නය- මානව හිමිකම් කොමිසමට වඩා තැනක් තිබුණේ නැද්ද ?

පිලිතුරු- ඒක තමයි පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරලා මේ ගැන හොයන්න කියන්නේ. මේක ගෝල්ෆේස් අරගලය එක්ක ඇතිවුණ සිදුවීමක් කියල හුදකලා කරන්න බැහැ.මොකද මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා.එවැනි පසුබිමක ආරක්ෂක ලේකම්තුමා,පොලීසිය,හමුදාව කටයුතු කළේ කොහොමද කියල අපිට ගැටළුවක් තිබෙනවා.

ප්‍රශ්නය- ගෙවල් ගිණි තැබීම සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවුණේ ජනතා විමුක්ති පෙරමුණටයි.

පිලිතුර- මම අදත් වගකීමෙන් කියනව මගේ ගෙදර ගිණි තියන්න ආපු පුද්ගලය තමයි මිනුවන්ගොඩ රැස්වීමේ ප්‍රධාන කතිකයා වුණේ. අරගලයට කලින් අනුර කුමාර මහත්තය පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට හෙල්මට් දා ගත්තු පුද්ගලයෙක් එතුමගෙ කැබ් එකට නැග්ගා. මේ පහරදීම් හැම එකකටම හෙල්මට් කල්ලියක් සම්බන්ධයි. මේ සම්බන්ධකම් ගැන හොයන්න කියල අපි කොමිසමේන් ඉල්ලුවා.

ප්‍රශ්නය- අරලියගහ මන්දිරයේ රැස්වීමෙන් පසුව ගෝල්ෆේස් එකට පහරදීපු නිසානෙ මෙවැනි සිද්ධියක් වෙන්න.  එදා ඒ පහරදීම වළක්වා ගත්තානම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ නේද?

පිලිතුර- මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. ඇයි වළක්වා ගන්න බැරි වුණේ.මේක සැලසුම් සහගත වැඩක්.

ප්‍රශ්නය- ඔබතුමාලගේ පක්ෂයට මේක වළක්වා ගන්න තිබුණනේද?

පිලිතුර- මම හිතනව එහෙම වුණානම් හොඳයි කියල.නමුත් යම් සිදුවීමක් වුණා.ගෝල්ෆේස් එකේ සිද්ධියට සම්බන්ධ අය එක්ක ගණුදෙනුව බේරගන්නව මිසක රටේ අහිංසක මිනිස්සුගෙ ගෙවල් ගිණි තියන එක වැරදියි.මම එදා අරලියගහ මන්දිරයට ගියේ නැහැ. ඒත් මගේ ගේ ගිණි තිව්වා. රැස්වීමට නොගිය මගේ ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ ගෙවලුත් ගිණි තිව්වා. ඒව දේශපාලන උවමනාවක් මත වුණ දෙයක්.කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකළ දෙයක් බව මම වගකීමෙන් කියනවා.

ප්‍රශ්න- අරගලයට පහර දෙන්න නියෝජ්‍ය ඇමතිවරුන් සම්බන්ධ වුණා.

පිලිතුර- ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා.නමුත් මිනිස්සු කුලප්පු කරපු ආගමික නායකයෝ,කලාකරුවන් සම්බන්ධයෙන් පොලීසිය ගත්තු පියවර මොකක්ද. නීතිය හැමෝටම එකක් වෙන්න ඕන.

ප්‍රශ්නය- මහින්ද මහත්තය මැයි වෙද්දී අගමැති වෙනව කියල කතාවක් යනව.ඒක ඇත්තද?

පිලිතුර- අපි පාර්ලිමේන්තුවේ ශක්තිමත්ව කටයුතු කරගෙන යනව.මේක දිරව ගන්න බැරි අය එක එක කතා කිනවා.අගමැති වෙන්න බළාපොරොත්තුවක් නෑ කියල මහින්ද මහතා කිව්වා.දැන් කියනව සජිත් අගමැති වෙනව කියල.ඒක ආණ්ඩුව බිඳවන්න කියන කතා.ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ඕකට අහුවෙයි කියල මම හිතන්නේ නෑ.

ප්‍රශ්නය- මැයි දිනයේ සූදානම කොහොමද?

පිලිතුර- අපි සූදානම්.ඉදිරියේදි ඒ ගැන දැනුවත් කරන්නම්.

ප්‍රශ්නය- පක්ෂයේ සභාපතිවරයා ලෙස හාමුදුරු නමක් පත්කර ගත්තෙ ඇයි?

පිලිතුර- උන්වහන්සේ මහාචාර්ය හාමුදුරු නමක්.මේක මීට කලින් වෙන්න තිබුණු දෙයක්.අපි අරං තියෙන්නේ අනුන්ගේ පක්ෂයක්. ඉදිරියේදි  අපේ පක්ෂයට ගැලපෙන ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා.

ප්‍රශ්නය- ඔබතුමා කළකිරීමෙන්ද ඉන්නෙ?

පිලිතුර- මම පොහොට්ටුව හදන්න මුල්වුණ කෙනෙක්.මම මොකටද පොහොට්ටුව එක්ක කලකිරෙන්නෙ.පොහොට්ටුව ශක්තිමත් කරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි ශක්තියක් වෙනවා. පොහොට්ටුව සමඟ එකතු වෙන සුදුසු පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්කර ඊළඟ ජනාධිපතිවරණයත් අපි දිනනවා.

ප්‍රශ්නය- ඒ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ ද?

පිලිතුර- වෙන්න පුළුවන්.

ප්‍රශ්නය- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට සහය දෙනවාද?

පිලිතුර- අනිවාර්යයෙන්ම දෙනවා.එතුමා කැමති වෙන්නත් ඕන.එතුමා තවම එහෙම කියල නෑනේ.

ප්‍රශ්නය- එතුමා ඉදිරිපත් වුවහොත් ඔබ උදව් කරනවද?

පිලිතුර- මගෙන් පුද්ගලිකව ඇහුවොත් එතුමාට උදව් කරනවද කියල. මම කියනව උදව් කරනව කියල.මේ වෙලාවෙ රට ගොඩදාපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තය.ඒ නිසා මොන දේශපාලන ප්‍රශ්න තිබුණත් මම උදව් කරනවා.

ප්‍රශ්නය- ප්‍රතිත්‍රස්ත පනතට උදව් කරනවද?

පිලිතුර- රටක ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවනම් ඒක වළක්වන්න පනත් ගේන්න ඕන.නීතිය අතට ගන්න දෙන්න බෑනෙ. ඒ පනත ගැන සමාජයෙ කතිකාවත් ඇති කළේ අපි ප්‍රජාතන්ත්‍රවාදී නිසා.

ප්‍රශ්නය- ජාතික ආණ්ඩුවක් ගැන කතා බහක් ඇතිවෙලා තිබෙනවා.එමෙ වුණොත් ඔබතුමාලගේ ඇමතිකම් ගැලවෙයි නේද?

පිලිතුර- ජාතික ආණ්ඩුවක් හැදිල රටට හොඳක් වෙනවනම් අපි අයින් වෙලා ඉඩ දෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?