Latestදේශීය

උසස් අධ්‍යාපනය බරපතල අවධානමක

විශ්වවිද්‍යාල පද්ධතියේ කාලයක් තිස්සෙ වර්ධනය වුණු ගැටලු කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා තවත් දැඩි අර්බුදකාරී තත්වයකට පත්වී තිබෙන බවත් අවුරුදු 40ක් පමණ පුරා රජය ක්‍රමානුකූලව අධ්‍යාපනයෙන් ඉවත්වෙමින් යන බවත් මේ වනවිට උසස් අධ්‍යාපනය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත් ජාතික ජන බලවේගය ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය චන්දන අබේරත්න, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාරිල්මේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අදහස් දැක්වූහ.

මෙහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස්,

තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු විදෙස්ගතවීම නිසා උසස් අධ්‍යාපනය බරපතළ අවදානමක
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය චන්දන අබේරත්න

“කාලයක් තිස්සේ පැවතුණු සහ අලුත් තත්වයන් එක්ක මතුවුණු ප්‍රශ්න රාශියකින් විශ්වවිද්‍යාල පද්ධතිය වෙලී තිබෙනවා. වර්තමානයේ තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු විදේශගතවීමේ ප්‍රවණතාව වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. වසරක පමණ කාලයක සිට සමහර අධ්‍යයන අංශවල ආචාර්යවරු අවශ්‍යතාවයෙන් හතරෙන් එකක්වත් නැහැ. ඒවගේම නව බදුවලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැවැන්ත මූල්‍ය අර්බුදයකට ඇද හෙළීමෙන් වර්තමානය වගේම අනාගතයත් විශ්වවිදාල අධ්‍යාපනය සම්බන්ධයෙන් අනතුරට ලක්කර තිබෙනවා. අනාගතයේදී වඩ වඩාත් මේ තත්වය බරපතළ වීමේ තවත් පැත්තක් මතුවෙමින් විශ්වවිද්‍යාලවලට නවක ආචාර්යවරුන් බඳවා ගැනීමත් අත්හිටුවා තිබෙනවා. මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගතය සඳහා අවශ්‍ය බුද්ධිමය ආයෝජනය සිදුවන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරන ලෙස ඉල්ලා අරගල කළ අවස්ථාවේ අදාළ ප්‍රතිපාදන 2%ක් නව බඳවා ගැනීම්වලට යොදවන ලෙසත් ඉල්ලීමක් තිබුණා. අධ්‍යාපනය වෙනුවෙන් අද කිඹුල් කඳුළු හෙළන පාලකයන් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම දැඩි අනතුරකට ලක්කර තිබෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව ජනතාවගේ විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා.”

රශ්න විසඳනවා වෙනුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ වෘත්තීය සමිතිවලට ජනාධිපතිවරයා නින්දිත ලෙස තර්ජනය කරමින් සිටිනවා…
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය

විශ්වවිද්‍යාල පද්ධතියේ කාලයක් තිස්සෙ වර්ධනය වුණු ගැටලු කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා තවත් දැඩි අර්බුදකාරී තත්වයකට පත්වී තිබෙනවා. අවුරුදු 40ක් පමණ පුරා රජය ක්‍රමානුකූලව අධ්‍යාපනයෙන් ඉවත්වෙමින් යනවා. අවශ්‍ය මුදල් ලබා නොදීම එකක්. යහපාලන ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීමට රනිල් වික්‍රමසිංහ එදා එකඟ වුණා. මේ මුදල අවශ්‍ය බවට යුනෙස්කෝ සංවිධානය ප්‍රමිතිගත කර තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක මේ අගයට කිට්ටුකරලා වත් නැහැ. දකුණු ආසියාවේ අධ්‍යාපනය වෙනුවෙන් අඩුවෙන්ම ආයෝජනය කරන රට බවට ලංකාව පත්කර තිබෙනවා. මේ මූලිකම කරුණු කෙරෙහි අවධානය යොමු නොකර අධ්‍යාපන අර්බුදයේ තරම තේරුම් ගන්න බැහැ. අධ්‍යාපනයට කරන ආයෝජනයෙන් රජය ඉවත්කර පෞද්ගලික ක්ෂේත්‍රයට ඍජුවම ආයෝජනයට යොමු කරන අතරම අනෙක් පැත්තෙන් දෙමාපියන් මත මේ බර පටවමින් සිටිනවා. ටියුෂන්, පුද්ගලික පාසල්, පුද්ගලික විශ්වවිද්‍යාලවලට ප්‍රමුඛත්වයදී තිබෙන්නේ පැවති සහ පවතින ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තිය නිසයි. එක් එක් ආයතනවලට පවතින න්‍යාය පත්‍ර අනුව අධ්‍යාපනය ගොඩනඟා ගැනීමට ඉඩදී රජය වගකීමෙන් ඉවත් වෙමින් යනවා.

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩිම මැදිහත් වීම සිදුකරන්නේ ලෝක බැංකුව. යම් රටක අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ඒ රටේ පවතින සංදර්භයන් තේරුම් ගනිමින්. පොදු අරමුණක් සහ දිගුකාලීන දැක්මක් සහිතව මේ ප්‍රතිපත්ති සකස් කළ යුතු වෙනවා. නමුත් මේ දක්වා පැවැති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අධ්‍යාපන කොමිෂන් සභාව පවා නොසලකා හරිමින් ආණ්ඩුව කටයුතු කරමින් යනවා. ජාතික අධ්‍යාපන ආයතනයත් නොතකා කටයුතු කරමින් යනවා. මේ නිසා පවතින ආයතනික ව්‍යුහයන් පවා සම්පූර්ණයෙන්ම කඩා වැටී දියාරුවීමට ඉඩ හැර තිබෙනවා. ඒ අතර පසුගිය අවුරුදු දෙක තුළ විශේෂයෙන් කෝවිඩ් වසංගතය තුළ ඇති වූ ප්‍රශ්න සහ ආර්ථික අර්බුදය හමුවේ ඇති වූ ප්‍රශ්න ගැන ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තුන වසරේ දරුවන්ගේ ඉගෙනුම් නිපුණතා පිළිබඳ පර්යේෂණයක් සිදුකර තිබෙනවා. තුන වසරේ දරුවන්ගෙන් 13%ක් ආහාර වේල් දෙකක් ලබාගන්නා බවත් ඒ අතර සමහර දරුවන්ට එක වේලක් ලැබෙන බවත් සඳහන් වී තිබෙනවා. දරුවන්ගෙන් 23%ක් ආහාර සම්බන්ධයෙන් විශේෂ අවශ්‍යතාවයන් ඇතිව තිබෙනවා. ඒ වගේම තුන වසරේ ළමුන්ගෙන් 94%කගේ සාක්ෂරතාවය සම්බන්ධයෙන් තිබිය යුතු නිපුණතාවය නැති බව හෙළිවී තිබෙනවා. 93%ක් ගණිතය පිළිබඳ අවශ්‍ය නිපුණතාවය සම්පූර්ණ කර නැහැ. මේ තත්වයට මුහුණ දෙන්න ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. පෝෂණය, පවුල් පරිසරය සහ පාසල් පද්ධතියේ අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍ය ආකාරයට සම්පූර්ණ වන්නේ නැහැ. ආණ්ඩුව මේ වගකීම් පැහැර හැරීම පාසල් සම්බන්ධයෙන් වගේම විශ්වවිද්‍යාලවලටත් එකසේ අදාළයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වගේම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් අසංවේදී ලෙස ක්‍රියාකරමින් සිටිනවා. ඒ අතර වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් ඇති කිරීමට ප්‍රචාරයන් දියත් කර තිබෙනවා.

උසස් අධ්‍යාපනයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබුණත් එහි අරමුණ වෙලා තියෙන්නේ ආණ්ඩුව මේ වගකීමෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන දිශාවට යොමුකිරීමයි. මේ බව පැහැදිලි වන්නේ මේ කාරක සභාවේ වාර්තාව ලබාදීමටත් පෙර කැබිනට් මණ්ඩලය විසින් උසස් අධ්‍යාපන ආයතන ගාස්තු අයකළ යුතු බවට තීරණය කර තිබීමෙන්. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, විවෘත විශ්විවිද්‍යාලය, වෘත්තීය සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරී වැනි සියලු ආයතනවල මුදල් අයකිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. රජයේ මේ විශ්වවිද්‍යාල මුදල් අයකරමින් පවත්වාගෙන යායුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර අවසන්. ආර්ථික අර්බුදය විසඳන්න දියුණු මානව සම්පතක් අවශ්‍යයි. දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමට නම් හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. එසේ නොකර මේ රට මුහුණ දී තිබෙන අර්බුද විසඳිය නොහැකියි. ආණ්ඩුව මේ වෙලාවේ කරන වැඩේ ඉතාම නින්දිතයි. ජනාධිපති ප්‍රකාශවලින් අධ්‍යාපනයේ පවතින ඇත්ත ප්‍රශ්න යට ගසමින් තිබෙන අර්බුදය තීව්‍ර කිරීමට ඉඩහැර තිබෙනවා.

අර්බුදය දිග්ගැස්සුවේ ආණ්ඩුව. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරලා වැඩ ගන්න බැහැ
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක

ජනාධිපතිවරයා සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුවන්ගේ සමිති සම්මේලනය පැවැත්වූ එකම සාකච්ඡාවේදී තමන්ගේ ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් මූලික සහ විකල්ප යෝජනා ඉදිරිපත් කර තිබුණා. සාධනීය යෝජනා තිබෙන බව ජනාධිපතිවරයා පිළිගෙනත් තිබුණා. මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බව පවසා මාර්තු 22දා දිනට දින යොදාගෙන තිබුණා. නමුත් එය 23දිනට කල් දමා මේ දක්වා කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ. ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමට අවස්ථා ගණනාවකදීම ලිපි මගින් සහ ජනාධිපතිවරයා මුණගැසීමෙන් උත්සාහ කර තිබුණා. මේ නිසා සාකච්ඡා මග හැර අර්බුදය දිග්ගැස්සීමේ වගකීම ජනාධිපතිට පැවරෙනවා. අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡා කර එකඟ වූ කරුණු සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබුණත් ජනාධිපති ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා. උසස් පෙළ දරුවන්ට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජනාධිපති වගකීමෙන් කටයුතු කර නැහැ. ඉන්පසුව අ.පො.ස. (උ.පෙළ) ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් ගුරුවරුන්ට සහ විශ්විවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කිරීමේ පිළිවෙතකට මාරුවී සිටිනවා. කුඹුරු හාන්න මී හරක් දක්කනවා වගේ උත්තර පත්‍ර බලන්න ගුරුවරු යොමුකරන්නත් එය අධීක්ෂණය කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු යොමුකරන්නත් බැහැ. එය නිදහස් මනසකින් කළ යුතු වැඩක්. තර්ජනයෙන් හෝ බලහත්කාරයෙන් කරන්න බැහැ.

ප්‍රශ්නය විසඳනවා වෙනුවට තවත් බරපතළ වීමට කටයුතු නොකරන ලෙස අපි දැඩිව අවධාරණය කරනවා. ඒ වගේම සමහර මාධ්‍ය මේ ප්‍රශ්නය වාර්තා කිරීමේදී ගුරුවරුන් සිසුන් සහ දෙමාපියන් අතර ගැටීම් ඇති කිරීමට වගකීමෙන් තොරව මූලික ප්‍රශ්නය අතහැර ක්‍රියාකර තිබෙනවා. ආණ්ඩුව රටේ අධ්‍යාපනය හෝ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් කල්පනා කර ක්‍රියාමාර්ග ගනීවි යැයි අප කල්පනා කරන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ පැත්තෙන් කල්පනා කර සාධනීය පියවරක් ගනීවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, වගකීම් විරහිත ආණ්ඩුවේ තර්ජනවලට යට නොවී දෙමාපියන් සහ දරුවන් කල්පනාවෙන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ගුණ්ඩුවලට හසුනොවී ප්‍රශ්නයේ නිර්මාතෘවරු නිවැරදිව හඳුනාගන්න
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

අ.පො.ස. (උ.පෙළ) විභාගය පවත්වන කාලයේ දෙමාපියන් ගුරුවරුන් ඇතුළු රටේ සමස්ත ජනතාවම අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් විභාගය අවසන් වූ වහාම විදුලිය කැපීම නතර කළා. ආණ්ඩුව කටයුතු කළේ දරුවන් එක්ක වෛරයෙන්. විශ්වවිද්‍යාල සහ පාසල් සම්බන්ධයෙන් ආණ්ඩුව අද අනුගමනය කරන ක්‍රියාමාර්ගවලින් තහවුරු කරන්නේ ජනතාව මත ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව යොදවා තිබෙන වෛරයයි. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් පවතින ගැටලුව මෙයට පෙර විසඳා ගත හැකිව තිබුණා. නමුත් එය එසේ නොකර ආණ්ඩුව වෙත එල්ල වෙන වගකීම ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිට පැටවීමට ක්‍රියාකරමින් සිටිනවා. ඉතිහාසය පුරා රනිල් වික්‍රමසිංහට තීන්දු ගැනීමේ බලයක් ලැබුණු සියලු අවස්ථාවලදී රාජ්‍ය අධ්‍යාපනයට කණකොකා හැඬීමට සලස්වා තිබෙනවා. 2002දී රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව දුන් බලය කෙටි කාලයකින් ආපසු හැරවූයේ ‘රීගේනින් ශ්‍රී ලංකා’ ඇතුළු රට විකුණන වැඩපිළිවෙළට එරෙහිවයි. මේ රටේ ජනතාව රනිල් ගෙනයන දැන් වැඩපිළිවෙළට සෑමදාම ඉඩ දෙන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙනයන මේ ක්‍රියාමාර්ගවලට විරුද්ධව ජනතාව ඉතාම කෙටිකාලයකදී තීන්දුවක් ගනීවි.

ජනතාවගේ බදු මුදල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය නොකර ආණ්ඩුව තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් යොදාගෙන දෙමාපියන් මත බර පැටවීම පරාජය කිරීමට සමස්ත ජනතාවම එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ ගුණ්ඩුවලට හසු නොවී උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බැලීම සම්බන්ධයෙන් මතුවී තිබෙන ප්‍රශ්නයේ නිර්මාතෘවරුන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ශක්තිමත්ව එකතු වෙන ලෙස ජාතික ජන බලවේගය ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය :- උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ කවුද?

පිළිතුර :- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ වෙනත් පාර්ශ්වයන් සම්බන්ධ වෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය තුළ ප්‍රධාන වැඩ කොටසක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ඉටුකරනවා.

ප්‍රශ්නය :- ප්‍රශ්න පත්තර හැදුවා නම් පිළිතුරු පත්‍ර බලන්න බැරි ඇයි?

පිළිතුර :- ප්‍රශ්න පත්‍ර සකස් කිරීම හෝ පිළිතුරු පත්‍ර බැලීම අධීක්ෂණය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාරියේ කොටසක් හැටියට නැහැ. අතිරේක ක්‍රියාවක් හැටියට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස සම්බන්ධ වෙනවා. ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා විට ඒ සම්බන්ධයෙන් තව පිරිසකට බලපෑම් සිදුවෙනවා. අපි ශිෂ්‍යයන් සම්බන්ධයෙන් වෛරයකින් කටයුතු කරන්නේ නැහැ. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය විසඳීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. සාකච්ඡා මාර්ගයට ගොස් එකඟතාවන්ට පැමිණිය නොහැකි වීමේ තත්වය මත අවසාන වශයෙන් මේ ක්‍රියාමාර්ගය අරගෙන තිබෙනවා. බදු ගැසීමත් විශ්වවිද්‍යාලවලට සම්බන්ධ ගැටලු රාශියකුත් විසඳා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම බදු ගැසීමේ ප්‍රශ්නය අපේ ජීවිතවලට පමණක් සම්බන්ධව බලපාන දෙයක් නොවෙයි. මේ අසාධාරණ බදු පැනවීමත් සමග විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම වෛද්‍ය, ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක ආචාර්යවරුන් තමන්ගේ වෘත්තිය හැර දා විදේශ ගත වී තිබෙනවා. මේ තත්වය තවදුරටත් ඉදිරියට ගියහොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩා වැටී පොදුවේ රටේ මුළු මහත් අධ්‍යාපනයම කඩා වැටෙනවා. අපි බදු ගෙවන්න අකමැතියි කියනවා නොවෙයි. අසාධාරණ බද්ද වෙනුවට සාධාරණ බදු ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. අන්තර් කාලීන පියවරක් හැටියට විකල්ප යෝජනා ගණනාවකුත් අපි ඉදිරිපත් කර තිබෙනවා. සාකච්ඡා මාර්ගයෙන් සහ එකඟතාවයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට යා හැකි උපරිම දුර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගොස් තිබෙනවා. මේ ආණ්ඩුව සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි නිසා දරුවන්ගේ අනාගත ගැන සිතා යම් තීරණයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ගුරුවරුන් ගනු ඇතැයි අපි බලපොරොත්තු වෙනවා.

උත්තර පත්‍ර ඇගයීමට ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් ඉල්ලුම් කර නොතිබීමේ ප්‍රශ්නයකුත් තිබෙනවා. වසර ගණනාවක් පුරා උත්තර පත්‍ර ඇගයීමේදී ඔවුන්ට තිබුණු ගැටලු නිසා ඉදිරිපත් නොවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අද පවතින ආර්ථික ගැටලු නිසා ඒ තත්වය තවදුරටත් බරපතළ වී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මැදිහත් වීම සම්පූර්ණ වුවත් පිළිතුරු පත්‍ර ඇගයීමට ප්‍රමාණවත් ගුරුවරු නොසිටීමේ ගැටලුව බරපතළවම තිබෙනවා. මේ රටේ දරුවෝ අපහසුතාවයට පත් නොකර ප්‍රශ්නයට කඩිනම් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස අපි බලකර සිටිනවා. මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන බව ආණ්ඩුව නොදැන සිටියා නෙමෙයි. ගුරුවරුන් උත්තර පත්‍ර ඇගයීමට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් තිබුණා. මේ දක්වා කල් පසුවී තිබුණත් අද හෝ මේ ප්‍රශ්නයට උත්තරයක් ලබා නොදුන්නොත් ඉදිරියේදී ප්‍රශ්න පත්‍ර හදාගැනීමේ ප්‍රශ්න පවා මතුවෙනවා. දරුවන්ට විභාගයට පෙනී සිටීමේ ප්‍රශ්න පත්‍ර හදාගන්න නොහැකි තත්වයට ලබන වසරේදී පත්වෙනවා. ඒ නිසා අපේ බලපෑම තිබෙන්නේ දරුවන්ට සහ දෙමාපියන්ට අනාගතයේ ඇති විය හැකි තවත් බරපතළ තත්වයක් වළක්වා ගන්නා ලෙසයි. ඒ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. දෙමාපියන් සහ දරුවන් ගුරුවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව යොදා ගැනීමට ආණ්ඩුව ගෙන යන මේ සෙල්ලම නැවැත්විය යුතුයි. රෝග නිධානය තෝරාගෙන පිළිතුරු ලබාදිය යුතුයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?