Latestදේශීයමතවාද

ATA කුමන්ත්‍රණය, උතුරේ අරගලය එදා සහ අද

(අසංක අබේරත්න)

මීට වසර 35 කට පෙර එනම් 1987 අවුරුද්දේ සැප්තැම්බර් 15 යාපනයේ නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට දමිළ තරුණයෙක් උපවාසයක් ආරම්භ කළා. ඔහු Thiyaga Theepam Thileepan (Rasaiyah Thileepan).

ඒ වෙනකොට ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරලා දින පනහට ආසන්න වෙමිනුයි තිබ්බේ. මේ උපවාසයට දින දෙකකට උඩදී තිලීපන් ඉල්ලීම් 5ක් මහකොමසාරිස් හරහා ඉන්දියානු රජයට ඉදිරිපත් කරනවා.

ජේ.ආර්ගේ 6/5 ආණ්ඩුව ක්‍රියාවට නැංවූ 1979 අංක 47 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික පනත අහෝසි කරන ලෙසත් බලහත්කාරයෙන් රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදස්කිරීමත් එහි ප්‍රමුඛ ඉල්ලීමක් විය.

එහෙත් මේ ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණි.

ඉන් දින දෙකකට පසු තිලීපන් උපවාසය ආරම්භ කළේ සමස්ත දෙමළ ජනතාවටත්, ඒ වගේම අදවෙන කොට සිංහල, මුස්ලිම් ජනතාවටත් බලපා තිබෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතියටත් වැටෙන විලංගුවලට එරෙහිවයි.

අතරමැදි සම්මුති තිලීපන්ට නොවුණි. විමල් වීරවංශ මෙන් ඔහු උපවාසය අතරතුර හොරෙන් බිස්කට් කෑවේ නැත. ඊනියා දේශප්‍රේමී, රාජපක්ශවාදී, ජාතිවාදී හාමුදුරුවන් ඇවිත් පිරිත් පැන් පොවනවා වගේ පූජකවරු ගිහින් තිලීපන්ට වතුර හෝ කන්ජි පෙවුවේ නැත. මහින්ද රාජපක්ශ ගොස් වීරවංශට තැබිලි පෙවුවා සේ ප්‍රභාකරන් තිලීපන් බැලීමට ගොස් උපවාසයෙන් නැගිට්ටුවේ නැත. ඒ වෙනුවට උපවාසය අත් නොහැරීමේ ගුණයට හිස නැමීය.

ඇත්තෙන්ම එය මාරාන්තික උපවාසයක් වූවා පමණක් නොව මිහිපිට මිනිසෙකු විසින් විරෝධය දැක්විය හැකි අතිශය සාමකාමී හා අවිහිංසාවාදීම ක්‍රියාමාර්ගය එය විය.

යුදවාදී ප්‍රභාකරන්ට පවා එයට හිස නැමීමට සිදුවිය. ඒ වගේම යුද්ධය මිස නිජබිමේ හා දෙමළ ජනතාවගේ නිදහස හා අයිතීන් දිනා ගැනීම සදහා වූ අතරමැදි දේශපාලන විසදුමක් හෝ වෙනත් උපායමාර්ගික වැඩපිළිවෙලක් නැතැයි යන ස්ථාවරයේ ප්‍රභාකරන්ව තව තවත් ශක්තිමත් වීමට තිලීපන් උපවාසයෙන් ජීවිතය පරිත්‍යාග කිරීම බලපෑවා.

ඉන්දියාව හෝ ලංකා රජය ශ්‍රී ලාංකික දමිළ ජනයා පිළිබදව කිසිදු තැකීමක් නොමැති බව ජාතීන්ගේ සහ පීඩිත කොටස්වල සැබෑ ප්‍රශ්ණය ගැන සිතා බලන කාටවුවද ඒත්තු ගැන්වීමට තිලීපන්ගේ මරණය සමත් විය.

ඉන් අවුරුදු 35කට පසු, රනිල් රාජපක්ශ ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත (ATA) නමින් දැනට පවතින 1979 අංක 47 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත 2023.04.25 වන දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට සියල්ල සූදානම්කරගෙන සිටියත් එය න්‍යාය පත්‍රයට ඒ මොහොතේ ඇතුළත් නොකර පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සති කිහිපයකට පස්සට ගන්නා ලදි.

පොහොට්ටුව රනිල් ගේන මේ පනතට මතුපිට්න් සියුම් විරෝධයක් ප්‍රදර්ශනය කරයි.

මොකද පොහොට්ටුවට නැවත ජනතාව අතරේ යම් ඉඩක් හදාගන්නනම් ඔවුන්ට එහෙම කරන්න වෙනවා. පොහොට්ටුවට ඕන විපක්ශය විදිහට නැවත දේශපාලන සමාජානුයෝජනය වෙන්න.

UNP කිතිපයාධිකාරියට සහ UNP ය දේශපාලනයේ මහගෙදර වූ සජබ අති බහුතරයක් මන්ත්‍රීන්ට ආණ්ඩුව බවට පත් වීමට තිබෙන අවශ්‍යතාව, මේ දෙකටම අවශ්‍ය සම්ප්‍රදායික පක්ශ-විපක්ශ හුවමාරුව සිදුවන සංක්‍රාන්ති සමයක් ඉතා ඉක්මන් උදාවනු ඇත.

මේ දෙක දේශපාලනිකව කැරකවීමට නම් රටේ ජනතාව ඉදිරියේ විශේෂයෙන්ම PTA, ATA, වංචා දූෂන හා මැතිවරණය ආදී තෝරාගත් දේශපාලන මාතෘකා පිළිබදව එකම අවස්ථාවේ එකිනෙකට පරස්පර ස්ථාවරයන් දැරීමට සිදුව තිබෙනවා.

මේ හැම දෙයක්ම අස්සේ එක දෙයක් හරිම නිශ්චිතයි. මේ දෙතුන් ගොල්ලටම අවම 2048 වෙනකල් බලය ගැටගසා ගැනීමට ඔවුන්ගේ ප්‍රභූ දේශපාලන සංස්ථාවට අවශ්‍යව තිබෙනවා. මේ දේශපාලන තත්ත්වය යටතේ ඒ සදහා ඔවුන් සියලුදෙනට රහසිගත පොදු සම්මුතියක් තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රභූ දේශපාලන පැවැත්මට එරෙහිව ජන බලය සංවිධානය වන පලමු අවස්ථාවේම ඔවුන් එකට එක්ව ස්වයං සම්මුති ප්‍රකාරව ප්‍රතිඵලය ලෙස ATA එක සම්මත කොට ක්‍රියාවට නැගීම එදාට දැකගත හැකිවනු ඇත.

එවිට,

තමා හැරුණු විට ඕනෑම පුද්ගලයෙක් අතඩංගුවට ගැනීමට සහ අධිකරණ තීරණයකින් තොරව රදවා ගැනීමටත්, පක්ශයක් හෝ සංවිධානයක් තගනම් කිරිම, ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදය ලෙස නම්කර නවතා දැමීමට ජනාධිපතිට හැකිය.

ඒ වෙනුවෙන් සමාජය ත්‍රස්ත කිරීම තමයි රනිල්ගේ උපාය.

ත්‍රස්ත පනතින් ඉතිහාසය පුරා බැට කෑ දමිළ ජනතාව රනිල් රාජපක්ශ ආණ්ඩුව ගෙන ඒමට උත්සාහ දරණ ATA එකට විරුද්ධව 2023.04.25 උතුරේ සහ නැගෙනහිර සාර්ථකවත් ඒ හර්තාලය ATA එකට සැබෑ ලෙස විරුද්ධ සියලු බලවේගයන්ට අස්වැසිල්ලකි, නැවත නැවතත් පූර්වාදර්ශයක් එමගින් පෙන්වා දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?