Latestදේශීය

අරගලය ජයගන්න පුලුවන් වැඩකරන ජනතාවටයි

කම්කරු ජනතාව නායකත්වය නොගත් නිසා අරගලය සම්පූර්ණ කිරීමට නොහැකි වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ඊයේ (01 වැනිදා) පැවසීය. අරගලයේ ඉදිරි අදියර සම්පූර්ණ කර පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා වැඩ කරන කම්කරු ජනතාවට ඒකරාශී වන ලෙස ඉල්ලා සිටින බවද කුමාර් ගුණරත් නම් පැවසීය.

“අයි.එම්.එෆ්. මර උගුලට ඇමෙරිකන් – ඉන්දියන් විජිත කරණයට එරෙහි වැඩ කරන ජනතා බලයක් නමැති තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩදී පැවැත් වූ 2023 ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් උත්සවය අමතමින් කුමාර් ගුණරත්නම් එලෙස පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාළිය ඊයේ දහවල් නුගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කළ අතර ඒ සඳහා විවිධ සටන් පාඨ සහිත පුවරු සහ කොඩි රැගත් පාක්ෂිකයෝ එක් වී සිටියහ. එලෙස පෙළපාළියෙන් පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ නුග්ගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මැයි දින සැමරුම් උත්සවය පවත්වනු ලැබූහ.

එම මැයි දින උත්සවය අමතමින් කුමාර් ගුණරත්නම් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

2022 ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට අතහැරලා යන්න වුණා. මහජන බලය අපි අත්හදා බැලුවා. එය අත්දැක්කා. මහජන බලයට තිබෙන හයිය අපි දැක්කා. නමුත් අරගලය සම්පූර්ණ වුණේ නැහැ.

අරගලයේ අරමුණ තාමත් ඉතුරුවෙලා තියෙනවා. ආර්ථික අර්බුදවලට උත්තර නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. හොරාකාපු සල්ලි ආවෙත් නැහැ. ධන කුවේරයන්ගේ සල්ලි කඳු හෙල්ලුවේත් නැහැ. පිටරට හංගලා තියෙන සල්ලි ලංකාවට ආවෙත් නැහැ. නමුත් රනිල් රාජපක්ෂ කල්ලිය නැවත වරක් බලය තහවුරු කරගෙන යන්න හදනවා.

අරගලය සම්පූර්ණ කරන්න පුළුවන් වැඩ කරන ජනතාවට විතරයි. 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය පෙරටු කරගෙන අසම්පූර්ණ වූ මහජන නැගිටීමේ අරගලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් වැඩකරන ජනතාව සමග අත්වැල් බැදගෙන සම්පූර්ණ කරනවා.

අපේ රටේ වැඩකරන කම්කරු ජනතාව, වෘත්තීය සමිති, ගොවි ජනතාව ඇතුළු පිරිස් සංවිධානාත්මක එකටකට එකතු කරගෙන යෑමට බැරි වූ නිසා අරගලය සම්පූර්ණ කරන්න බැරි වුණා.

පැරණි ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්වෙලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා නැහැ. ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ඇමරිකන් මර උගුලට හසුවෙන්න එපා කියලා අපි උද්ඝෝෂණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕනෑ විදියට අපේ රටේ බදු මුදල් වැඩි කළා. දැන් රාජ්‍ය ආයතන ටික විකුණන්න යනවා. ඉඩම් ආපදා පනත වෙනස් කරලා, රටේ ඉඩම් ටික බහුජාතික සමාගම්වලට විකුණන්න හදනවා. සෞඛ්‍ය පෞද්ගලිකකරණය කරන්න පසුබිම සකස් කරගෙන යනවා.

පොඩි එකාව තවත් තලන්න පාගන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ආවේ. පොඩි ඒකා මත තවත් බර පටවලා සුපිරි ධන කුවේරයන් ආරක්ෂා කරන්න තමයි අයි එම් එෆ් එක ආවේ. ලෝකයේ සාමාන්‍ය යුක්ති ධර්මයට අනුව වැඩි වැඩියෙන් පීඩාවට පත් වූ ජනතාවට තමයි පිහිට විය යුත්තේ. නමුත් අයි එම් එෆ් කොන්දේසි ආවේ අසරණයාට තලන්න.

@අරුණ පුවත්පත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?