Latestදේශීය

ඊලග මැයි දිනය සමරන්නේ සමගි ‌ජන බලවේගයේ ආන්ඩුවක් යටතේ

(අකිත පෙරේරා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්)

වත්මන් ආණ්ඩුව ගිවිසුම් ගත වූ අයිඑම්එෆ් ගිවිසුම සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පොදු ජනයාට වාසි සැලසෙන පරිදි නැවත සාකච්ඡාවට ලක් කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැති එම පක්ෂ මැයි රැළිය අමතමිනි.

සමගි ජන බලවේගයේ සියලු‍ වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් සමගි ජන සන්ධානයේ විශාල පාක්ෂික පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දින පෙළපාලිය මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සිට ගුණසිංහපුර ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනය දක්වා පැමිණ රැළිය ආරම්භ කළ අතර එහිදී විශේෂ යෝජනා කිහිපයක් ද සම්මත කර ගනු ලැබීය.

සමගි ජන බලවේගය මැයි දින රැළියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කියා සිටියේය.

අද ඉතාම ඓතිහාසික දවසක්. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්, මේ රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වැඩ කරන ජනතාව පාරට බහින මොහොතේ අද වන විට අපේ පක්ෂයේ සහ සමගි ජන සංධානයේ මැයි රැළිය විශේෂයි. අද අපි මැයි රැලි එකක් නොවෙයි දෙකක් පවත්වනවා. එකක් අපි මෙම ස්ථානයේදී වගේම අද දින අනෙක් මැයි රැළිය, බදුල්ල නගරයේදී වඩිවෙල් සුරේෂ, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන වැනි නායකයන්ගේ සහභාගීත්වයෙන් වතු කම්කරු ජනතාව වෙනුවෙන් අපේම කණ්ඩායමක් මහා මැයි රැළියක් උඩරට ප්‍රදේශයේ පවත්වනවා. අපි දේශපාලනය කරන්නේ පදවි, තනතුරු බලාපොරොත්තුවෙන් නොවෙයි. අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනා. ඒ සඳහායි අපි දේශපාලනය කරන්නේ. අපි තනතුරු වෙනු වෙන් කෙළ හලන නායකයන් නොවෙයි. ඒත් අද දේශපාලනයේ එහෙම අය ඉන්නවා. එහෙම දෙපිට කාට්ටුවෝ ඉන්නවා. අපි ඒ අයට කියනවා හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. අපේ පක්ෂයේ එහෙම දෙපිට කාට්ටුවෝ නෑ. ඒත් මම අනුමානයෙන් කියන්නේ එහෙම අය ඉන්නවා නම්, ඒ අයට පුළුවන් නම් ඉන්න, බැරිනම් යන්න කියලා ඒ අයට අපි කියනවා. අද අල්ලස්, දූෂණය වංචාව රජ කරනවා. මේ ආණ්ඩුව ගැන කියනවා නම්. දැක්කේ නැති පොහොරවලට වන්දි ගෙවපු ආණ්ඩුවක්, දැකපු නැති එයාර් බස් වලට වන්දි ගෙවන ආණ්ඩුවක් මේක කුණුවලට වගේම තවත් දේවල්වලට වන්දි ගෙව්වා. එක්ස්ප්්‍රස් පර්ල් විනාශයෙන් වුනු හානිය රටට අය කර ගන්නේ නැතුව තමන්ගේ සාක්කුවට දාගත්තු ආණ්ඩුවක් මේක. එහෙම ආණ්ඩුවකට අපි යනවාද කියලා අහනවා. අපි කියන්නේ අපි යන්නේ අපේම සමගි ජන බලවේග ආණ්ඩුවකට

අපේම ජනාධිපතිවරයෙක් යටතේයි කියලා කියන්න ඕනා. අපි කියන්න ඕනා. අයිඑම්එෆ් කියන්නේ ඩීල් එකක්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාත් අයිඑම්එෆ් දෙපාරක් ගියා. නමුත් මේ රටේ ජනතාවට සහන පිට සහන ලබා දුන්නා ඔබට මතකයි. නිල ඇඳුම්, පෙළ පොත්, දිවා ආහාර නොමිලයේ ලබා දුන්නා. මම කියන්න ඕනා 2048 වෙනකම් ඉන්න අවශ්‍ය නෑ. අපේ කබීර් හසීම්, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා සමග මේ රටේ ආර්ථිකය හදනවා. අත් කකුල් විකුණන්න අවශ්‍ය නෑ. ලෙඩාව මරන්නේ නැතුව බේරගන්න පුළුවන්. අපි මේ රටේ ආර්ථිකය ගොඩ නගනවා පළමු වාරය තුළදීම. අපි කිසිම දවසක මේ රටේ කොටස් වෙළෙඳපොල වහන්න යන්නේ නෑ. බැංකු පද්ධතිය වහන්න යන්නේ නෑ. අපි මේ රටේ ආර්ථිකය සංකෝචනය කරන්නේ නෑ. අපි නව තාක්ෂණය, නව කර්මාන්ත, විප්ලවයක් තුළින්, මේ රට නිර්මාණාත්මකව ගොඩනගන ගමන ක්‍රියාත් මක කරනවා. ඒ සුබසාධන රාජ්‍යයක් ලෙසයි. මේ රටේ ජනතාව බිල්ලට තබා බලය ගන්න සමහරු උත්සාහ කරනවා. අපිට මතකයි වියට්නාමය වැනි රටවල් යුද්ධයෙන් විනාශ වුණා. නමුත් ඒ රට නිර්මාණාත්මක පාලනයක් තුළින් අද ශක්තිමක් ගමනක් යනවා. අපේ වැඩපිළිවෙල ශ්‍රීලන්කන් ෆස්ට් කියන එකයි. සැමට සංවර්ධනය, සුබ සාධනය, සෞභාග්‍යය උදා කරන එකයි. මේ රට තූළ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සුරකින. අල්ලස්, දූෂණය, වංචාව, හොරකම තුරන් කිරීමයි. අපි කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරමින් සුහුරැ ආර්ථිකයක් ගොඩනගා ජනතාව සුරකින හරිත විප්ලවයක් ක්‍රියාත්මක කරනවා. අපේ ක්‍රියාවළිය රට නවීකරණය කිරීමේ ක්‍රයා වළියයි. නිදහස් අධ්‍යානපනය තුළින් තාක්ෂණය සහ නවීකරණයෙන් රට ගොඩ නැගීමයි. ජාති ආගම්, බේදවලින් තොර, කුඩු සංස්කෘතියෙන් තොර ගමනක් යන්නයි අපේ බලාපොරොත්තුව. අපි ඒ සඳහා අපේ උපරිම ශක්තිය ලබා දෙනවා.

සමගි ජනබලවේගයේ සහකාර ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා-

මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් සමගි ජනබලවේගය 2020 දී ගොඩනැඟුණා. අපි ඓතිහාසිකව ඉතා වැදගත් කාලපරිච්ඡේදයකට ඇවිත් තියෙන්නේ. රාජපක්‍ෂ ආණ්ඩුව ගතවූ වසර 2 1/2 තුළ අගාධයට ඇද දමා තිබෙනවා. ඒ තුළ ජනතා නැගිටීමත් එක්ක ගෝඨාභය රාජපක්‍ෂට ගෙදර යන්න වුණා. අද වික්‍රමසිංහලා රාජපක්‍ෂලාගෙන් තොර ලෝකයක් බවට පත්වෙලා තියෙනවා. වික්‍රමසිංහ රාජපක්‍ෂලාගේ හිරකාරයෙක් බවට පත්වෙලා තියෙනවා. වික්‍රමසිංහ ගන්න හැම තීන්දුවක්ම රාජපක්‍ෂලා එක්ක සාකච්ඡා කරලයි තීන්දු ගන්න වෙලා තියෙන්නේ.

සමගි ජනබලවේගයේ සහකාර ලේකම් අශෝක් අබේසිංහ මහතා-

අද මේ රටේ ලක්‍ෂ 13 ක් මේ රටේ ණයකාරයින් බවට පත් කරලා තියෙනවා. සමගි ජනබලවේගය ඊළඟ හැම මැතිවරණයක්ම ජය ලබනවා. අසූපන් ලක්‍ෂයක් වන වැඩකරන ජනතාවගේ රැකියාවන් සුරක්‍ෂිත කිරීම සමගි ජනබලවේගයේ අරමුණයි. අපි සමග එකතුවන සේවකයන්ට සමගි රක්‍ෂණයක් ආරම්භ කරනවා.

පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා-

අද මේ රට බංකොලොත් වෙලා තියන්නේ. අද රට ආර්ථිකය අතින් කඩා වැටිලයි තියෙන්නේ. දරුවන් සියයට 60 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න මොහොතක්. මේ මැයි දින රැළිය අපි පවත්වන්නේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව තියෙන ආණ්ඩුවක් තියෙන වෙලාවක. අපි ඊළඟ මැයි දින රැළියේදී එකතු වන්නේ රනිල් ගෙදර යවලා අපේ ආණ්ඩුවක් හදපු වෙලාවක. අද රටේ තත්ත්වය ගොඩගන්න පුළුවන් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයටයි සමගි ජනබලවේගයේ කණ්ඩායමට විතරයි.

මේ රට බංකොලොත් කරපු පාර්ශ්වකරුවෝ කවුද? ජනතා විමුක්ති පෙරමුණ 2000 වසරේ තමයි මේ රට සෘණ ආර්ථිකයක් වෙලා තිබුණේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ එවකට තිබුණු ආණ්ඩුවත් එක්ක මුක්කු ගහගෙන හිටියේ. ජනතා විමුක්ති පෙරමුණ දැන් එක එක කතා කියාගෙන එන්න පුළුවන්. අද මේ රටේ පවතින පොහොට්ටුවත් අලි කපුටු හවුල් ආණ්ඩුව පලවා හැරීමට පෙළ ගැසෙමු.

සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා-

අපි අද මැයි දිනය සමරන්නේ විපක්‍ෂයේ ඉඳගෙන. අපි මේ විපක්‍ෂයේ ඉඳගෙන අවසන් මැයි දිනය මේ සමරන්නේ. ඊළඟ මැයි දිනය සමරන්නේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ ඉන්න වෙලාවේ. මේ රට ගොඩනඟන්න පුළුවන් එකම පක්‍ෂය සමගි ජනබලවේගය. අද කොළඹ මැයි රැළි ගණනාවක් තියෙනවා. ඒ අතරින් පැවැත්වෙන දැවැන්ත මැයි රැළිය පැවැත්වෙන්නේ ගුණසිංහපුර මැයි රැළිය.

පක්‍ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා-

අද අපි මැයි දිනය සමරන්නේ වැඩබිමේ ලේ දහඩිය වගුරන කම්කරු ජනතාව සිහිපත් කරමින්. අපේ රටේ ඒ වැඩකරන ජනතාවට ලැබිය යුතු පිළිගැනීම ලැබුණා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. රටක පාලකයෝ දූෂිත නම්, අවංක නැත්නම් වැඩකරන ජනතාවට සේවයක් වෙන්නේ නැහැ. මේ රටේ දූෂිත පාලකයෝ තමුන්නාන්සේලා හඳුනා ගත යුතුයි.

සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා-

අද රටේ ජනතාවට බදු පිට බදු ගහලා තියෙනවා. වැඩකරන ජනතාව විදිහට රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න ඕන. ඒක මැයි 01 වැනිදායින් පටන් ගන්න ඕන. ඒක මතක් කරනවා. මේ රටේ ඩීල් නැති එකම පක්‍ෂය සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය කියලා කියනවා.

අපේ අරගලය තියෙන්නේ ජනතාවට සහන දෙන ආර්ථික වැඩපිළිවෙළක් ඇති සමගි ජනබලවේග ආණ්ඩුවක් හදන්න.

පක්‍ෂයේ උප සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මිය-

අද දවසින් දවස කම්කරුවා බිමට ඇදලා දාන තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ රට අද විනාශයට ඇදගෙන යන දූෂිත ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවන්න පෙළ ගැහෙන්න.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කබීර් හෂීම් මහතා-

අද අනිත් තැන්වල මැයි දින සමරන අයට හරිනම් මැයි දින රැළි සමරන්න ඔවුන්ට අයිතියක් නැහැ. ඔබ අප සියලු දෙනා වගකීම ගමු. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයට රට ගොඩගන්න හැකියාව තියෙනවා. මේ රටේ ඊළඟ නායකයා සජිත් ප්‍රේමදාස. ඔබ ගමට ගියාම සමගි ජනබලවේගය ගැන දැනුවත් කරන්න.

සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා-

අපිට තැන දුන්නේ අන්තිම සතියේ. අපි බැලුවේ මේ රැලිය ගෝල්ෆේස් පිටියේ පවත්වන්න. නමුත් ආණ්ඩුව බය වුණා. ඒ නිසා ඒ තැන දුන්නේ නැහැ. කෙසේ වෙතත් කම්කරු නායකයකු වන ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ක්‍රීඩාංගණයේ පවත්වන්න ලැබීම ගැන සතුටු වෙනවා. වැඩකරන ජනතාවගේ පඩි වැඩි කිරීම් නැහැ. බෙහෙත් නැහැ. ජීවන වියදම වෘත්තිකයන්ගේ පඩියට බදු ගහනවා. ජනතාව මර්දනය කරන්න ත්‍රස්තවාදී පනතක් ගේන්න හදනවා. ආණ්ඩුවේ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අපි පෙරමුණ ගන්නවා.

අපි ඊළඟ මැයි දිනය සමරන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ. මේ රට හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් බේරා ගන්න තමුන්නාන්සේලා සමගි ජනබලවේගය සමග එකතු වෙන්න.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?